බුදු දහම සහ මේ වන විට අප ගමන් කරමින් සිටින නවීන විද්‍යාත්මක හා තාක්ෂණික ලෝකය අතර විශාල සම්බන්ධතාවක් ඇති බවත් ලෝකය හමුවේ ඇති ඉදිරි අභියෝග ජය ගැනිමේ මාර්ගය බුද්ධ දේශනාව තුළ ඇතුළත් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ත්‍රිපිටකය ඇතුළු බෞද්ධ දර්ශනයත් මෙරට ඉතිහාසය, ශිෂ්ටාචාරය සහ බුදු දහම ලෝකයේ ව්‍යාප්ත වීම පිළිබඳව අධ්‍යයනය කළ හැකි සහ පාලි, සංස්කෘතික ඇතුළු භාෂා දැනුම වර්ධනය කර ගත හැකි නව ආයතනයක් මෙරට ස්ථාපිත කිරීමට සාකච්ඡා කරමින් සිටින බව පැවසූ ජනාධිපතිවරයා ඉතිහාසයේ අනුරාධපුර මහා විහාරය සිදු කළ වැඩකටයුතු නැවත ආරම්භ කිරීම එහි අරමුණ බවද කියා සිටියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ සබරගමුව පළාත් සභා ශ්‍රවණාගාරයේ අද (08) පස්වරුවේ පැවති ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අමරපුර දින ආදිකතෘ සැමරුම් උත්සවයට එක් වෙමිනි.
පූජ්‍ය වැලිතර, මහකරාවේ ඥානවිමලතිස්ස හිමියන් විසින් සිදු කළ සුවිශාල කැපකිරීමකින් පසු 1802 වසරේදී අමරපුර මහා නිකාය ස්ථාපනය කෙරිණි. අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී, අතිපුජ්‍ය දවුල්දෙණ ඥානීස්වර, අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස, අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි ආදී මහා යතිවරයාණන් වහන්සේලා අමරපුර මහා නිකායට නායකත්වය දුන්හ.
වසර 222ක් පුරා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් සිදු කළ සියලුම ආදිකර්තෘන් වහන්සේලා සිහිකරමින් අමරපුර දිනය සමරනු ලැබු අතර සබරගමුව අමරපුර සාමග්‍රී සංඝ සභාව විසින් මෙය සංවිධානය කර තිබිණි.
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සභාපති, වැඩබලන උත්තරීතර මහානායක මහෝපාධ්‍යාය අතිපූජ්‍ය කරගොඩ, උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහානායක ස්වාමින් වහන්සේ උත්සවයේ මුලසුන හෙබවූහ.
අමරපුර මහා නිකාය නියෝජනය කරන පාර්ශ්ව 22 සියලුම මහානායක හිමිවරුන් මෙම අවස්ථාවට වැඩම කර සිටි අතර උන්වහන්සේලාට උපහාර පුද කිරීම ජනාධිපතිවරයා අතින් සිදු විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශාසන අභිවෘද්ධිය සහ රට වෙනුවෙන් ඉටු කරන මෙහෙවර අගයමින් සහ අමරපුර නිකායේ සියලුම පාර්ශ්වවල ආශිර්වාදය පළ කරමින් ජනාධිපතිවරයා වෙත උපහාර තිළිණයක් ද පිළිගැන්විණි.
මෙයට සමගාමීව සබරගමුව පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ නවීන් දිසානායක මහතා වෙත ‘ජනහිතකාමී ශාසනබන්ධු’ ගෞරව නාමය ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති පූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති නායක හිමිපාණන් වහන්සේ විසින් පිරිනැමූහ.