“සංවර්ධනයට පෙර ජනතාවගෙන් අහන්න” – කෘෂිකර්ම අමාත්‍ය

නගරයක් ප්‍රදේශයක් සංවර්ධනය කිරීමේදී සියලු දෙනාගේ අදහස් විමසිය යුතු බවත් එසේ නොවුණහොත් යම් විරෝධයන් ඇති විය හැකි වුවත් අත්‍යාවශ්‍ය සංවර්ධන කටයුත්තක් නම් ඩෝසර් කර හෝ එය සිදුකළ යුතුව තිබෙන බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

ඒ මහතා ඒ බව අවධාරණය කර සිටියේ  මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී විසල් මහනුවර සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අමාත්‍ය අරුණ කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය නිලධාරීන් හා මහනුවර ව්‍යාපාරික ප්‍රජාවගේ සහභාගිත්වයෙන් පැවති සාකච්ඡාවකදීය.

එහිදී අමාත්‍ය ලාල් කාන්ත මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.

සංවර්ධන කටයුතු සිදුකිරීමේදී සියලු දෙනාගේ අදහස් නොවිමසා සැලසුම් සකස් කළහොත් විවිධ විරෝධයන් දුක් ගැනවිලි ඉදිරිපත් විය හැකියි. එම නිසා සියලු ප්‍රජාවන් සමග සාකච්ඡා කොට සංවර්ධන ව්‍යාපෘති සැලසුම් කිරීම ඉතා වැදගත්.

අද පැවති සාකච්ඡාවට අනුව ඉදිරියේදී සිදු කිරීමට මහනුවර සංවර්ධනන ව්‍යාපෘතියට 99% කැමති බවක් පෙනුනා. පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තිබුන බවක් පෙනුනත් එය නිරාකරණය කර ගැනීමට හැකියාව තිබෙනවා. කටුගස්තොට සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී වෙළඳ ගංගම් වල විරෝධතාවයක් තිබෙන බව සඳහන් වුණා. එය කළමනාකරණය කරගෙන ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතුයි.පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ සින්නක්කර ඔප්පු දීමේ සටහන නවතා දැමීමට තීරණය කළ බව අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළ අතර නව ක්‍රමවේදයකට අනුව එම ඔප්පු ඉක්මනින් නැවත ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බවද පැවසීය.

පසුගිය කාලයේ ලබාදුන් ඔප්පු ක්‍රමයට අනුව ඉඩම් විශාල ප්‍රමාණයක් කැබලවීමේ අනතුරක් තිබෙන බව පැවසූ අමාත්‍යවරයා උරුමය ඔප්පු ක්‍රමය තුළින් එය ලබාගන්නා පුද්ගලයාට පවුලේ අන් කිසිවෙකු ගැන නොසලකා එම දේපොළ විකුණා දැමීමේ හැකියාව තිබෙන බවද පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *