පවතින වර්ෂාව හේතුවෙන් ඩෙංගු රෝගීන් හා චිකුන්ගුන්යා රෝගීන් වැඩිවීමක් සිදුවන බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මෙම රෝග දෙකම ඇතිවීමට හේතුවක් වී තිබෙන්නේ මදුරුවන් වීම නිසා තම අවට පරිසරයේ මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට කටයුතු කරන ලෙස එම සංගමයේ සභාපති නජිත් සුමනසේන මහතා පැවසීය.
චිකුන්ගුන්යා රෝගය ද ව්‍යාප්ත කරනු ලබනුයේ ඩෙංගු රෝග වාහකයා වන ඊඩ්ස් ඊජිප්ටයි සහ ඊඩ්ස් ඇල්බොජික්ටස් යන මදුරු විශේෂය විසින් ම බැවින් නිවාස හා පරිශ්‍ර පිරිසිදුව තබා ගැනීමෙන් ඩෙංගු සහ චිකුන්ගුන්යා යන රෝග දෙකම පාලනය කරගත හැකි බව ඔහු සඳහන් කළේය.
සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන් විසින් සිදුකරන ලද සමීක්ෂණවලට අනුව උදේ 6.00-උදේ 10.00 හා සවස 4.00-සවස 6.00 අතර කාලයෙහිදී මෙම මදුරු විශේෂ දෙක දෂ්ට කිරීම සිදුවන බවද හෙතෙම පැවසීය.
වැහි පීලි හා ඉවත ලබන ද්‍රව්‍ය මත රැඳෙන ජලයට අමතරව ගස්බෙනවල ජලය රැඳෙන ස්ථානවල හා හබරල වැනි ශාකවලත් මදුරුවන් බෝවන ස්ථාන තිබෙන බවට සොයා ගෙන තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.
මේ නිසා ජනතව තම අවට පරිසරය පිරිසිදු කරන විට බෙන තිබෙන ගස් පිළිබඳව හා හබරල ගස් පිළිබඳවත් වැඩි අවධානයක් යොමු කළ යුතු බවද ඔහු පැවසීය.
දුම්රිය හා වාහනවලින්ද මදුරුවන් හමු වී තිබෙන නිසා තම පුද්ගලික වාහනවල මදුරුවන් සිටිනවාද යන්න සොයා බැලිය යුතු බවද ඔහු පැවසීය.නජිත් සුමනසේන මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.
“පසුගිය දිනවල සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන් විසින් සිදුකරන ලද සමීක්ෂණවලදී විහාරස්ථානවලින් මදුරුවන් බෝවන ස්ථාන විශාල වශයෙන් හමු වී තිබෙනවා. මේ නිසා දායක සභාවල් මේ පිළිබඳව අවධානය යෙමු කළ යුතුයි. සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන් විසින් විහාරස්ථානවල මදුරුවන් බෝවන ස්ථාන රසායනික ද්‍රව්‍ය යොදා නිවැරදි කර තිබෙනවා. එහෙත් රසායනික ද්‍රව්‍යවල සක්‍රිය බව තිබෙන්නේ කෙටිකාලයකටයි.
පසුගිය දිනවල පාසල්වල විභාග මධ්‍යස්ථාන පැවති නිසා එම පාසල්වල මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා. ඉදිරියේදිත් පාසල් පිළිබදව සොයා බැලීම් සිදුකරනවා.
මීට අමතරව ඇතැම් රාජ්‍ය ආයතනවලින්ද මදුරුවන් බෝවන ස්ථාන හමුවී තිබෙන නිසා රාජ්‍ය ආයතන බලධාරීන්ද මේ පිළිබඳව අවධානය යොමු කර අවශ්‍ය කටයුතු කළ යුතුයි. රාත්‍රී කාලයට මදුරු විකර්ශක හෝ වෙනත් ක්‍රම මගින් මදුරු දෂ්ට කිරීම්වලින් බේරී සිටීමට කටයුතු කළත් ඩෙංගු හා චිකුන්ගුන්යා රෝගයෙන් වැළකි සිටිය නොහැකියි. මෙම රෝග තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමට දහවල් කාලයේදී ආරක්ෂා විය යුතුයි.
දහවල් කාලයේදී පිරිමි දරුවන් උඩුකය නිර්වස්ත්‍රව සිටිනවා. මදුරුවන් සිටින ප්‍රදේශවල දෙමාපියන් මේ පිළිබඳව අවදධානය යොමු කර දරුවන්ට ඇඟවැසෙන ඇඳුම් ඇන්ද වීමත් මදුරුවන්ගෙන් ආරක්ෂා විය හැකි සෞඛ්‍ය ආරක්ෂිත අලේපන වර්ගයක් භාවිත කිරීමත් කළ යුතුයි.
මෙම වර්ෂයේ ජනවාරි මස 01 වැනි දා සිට ඊයේ(12) දිනය වන විට ඩෙංගු 19000කට අධික ප්‍රමාණයක් වාර්තා වී තිබෙනනවා.”
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන ආකාරයට මේ මස ගෙවීගිය දින 10 ක කාලයෙහිදී ඩෙංගු රෝගීන් එක්දහස් පන්සීයකට වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබේ.