පොසොන් උත්සවයට අපුර යන්න අයට දැනුම් දීමක්

මෙවර පොසොන් සතිය මෙම මස 18 වැනිදා දින සිට 24 දින දක්වා පැවැත්වෙන බවත් ඒ සඳහා බැති සිතින් අනුරාධපුරයට පැමිණෙන ලෙස සියලු බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින බව අනුරාධ දිස්ත්‍රික් ලේකම් හා පොසොන් කමිටුවේ සභාපති ජනක ජයසුන්දර මහතා පවසයි.

දිසාපතිවරයා මේ බව කියා සිටියේ  අනුරාධපුර  දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ දිසාපතිවරයා මෙසේ පැවසීය.

“මෙම පොසොන් සතිය අනුරාධපුර නගරයේ ප්‍රධාන ජලාශ වලින් එකතු කර ගන්නා පැන් ජය ශ්‍රී  මහා බෝධීන් වහන්සේ අභියස වූ විශේෂ පාත්‍රයක තැන්පත් කිරීමෙන් අනතුරුව, සති පිරිත් දේශනාවෙන් ආරම්භ වනවා.

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් අටමස්ථාන විහාරස්ථානවල විශේෂ ආගමික වැඩ සටහන් සංවිධානය කර තිබෙනවා. අටමස්ථානය, ඓතිහාසික මිහින්තලාව සහ තන්තිරිමලය පුදබිම් කේන්ද්‍ර කර ගනිමින් පොසොන් සතිය ක්‍රියාත්මක වෙනවා.

සැලසුම් කරගත් පරිදි මහව සිට අනුරාධපුරය දක්වා දුම්රිය මාර්ගය පිළිසතර කර අවසන් කිරීමට නොහැකි වූ නිසා  දුම්රියෙන් අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් මහව සිට අනුරාධපුරය දක්වා ලංකා ගමනාගමන මණ්ඩලයේ විශේෂ බස් රථ සේවාවක් පොසොන් සතිය තුළ ක්‍රියාත්මක කර තිබෙනවා.

අනුරාධපුර පූජා නගරය ඇතුළු පුද බිම අපවිත්‍ර නොවන ආකාරයට කටයුතු කරන ලෙසත් නගරය සහ අවට ප්‍රදේශවල වැව් වලින් දිය නෑමේදී පොලිසිය විසින් ලබා දී ඇති උපදෙස් පිළිපදින ලෙස අනුරාධපුරයට පැමිණිමට නියමිත ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *