පොලිස් ඇමතිගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සම්බන්ධ කොට ගනිමින් බොරු පුවතක් නිර්මාණය කිරීම ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස එම අමාත්‍යංශය වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටී.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් එම්.ඒ.ඩී දීගායු මහතාගේ අත්සනින් එම ලිපිය නිකුත් කර ඇත.

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල  මහතා සහ නිශ්ශංක සේනාධිපති සම්බන්ධ කරමින් ව්‍යාජ ලෙස සකස් කරන කළ ප්‍රවෘත්ති සමාජ මාධ්‍යයේ  සංසරණය වනු නිරික්ෂණය වන බවත්  අමාත්‍ය ආනන්ද විජේපාල  මහතා විසින් තම අමාත්‍යංශයේදී නිශ්ශංක සේනාධිපති  මුණ ගැසුණු බව හැඟවෙන ආකාරයෙන් එකී ප්‍රවෘත්තිය නිර්මාණය කර ඇති බවත් අදාල ලිපියේ දැක්වේ.

එය ව්‍යාජ ප්‍රවෘත්තියක් වන අතර කිසිදු අවස්ථාවක ආනන්ද විජේපාල  මහතා හෝ ඔහුගේ නියෝජිතයකු නිශ්ශංක සේනාධිපති මුණ ගැසී නොමැති බවද එහෙත් මෙලෙස දිගින් දිගටම ව්‍යාජ ප්‍රවෘත්තීන් නිර්මාණය කිරීම හරහා අමාත්‍ය  ආනන්ද විජේපාල මහතාගේත් වත්මන් රජයේත් කීර්ති නාමය හා ජනතා විශ්වාසය පළුදු වීම සිදු වන බව නිරීක්ෂණය වන්නේ යැයි ද අදාල ලිපියෙහි සඳහන් වේ.

එම නිසා දිගින් දිගටම සාවද්‍ය ප්‍රවෘත්තීන් සමාජගත වීම  හරහා සත්‍ය තොරතුරු දැන ගැනීම සඳහා මහජනතාව සතු අයිතිය උල්ලංඝනය වීමක් සිදු වන අතර චේතනාන්විත ලෙස සාවද්‍ය  තොරතුරු සමාජගත කිරීම් හරහා සමාජයට අගතිදායී ප්‍රතිඵල ඇති කරන බව තම හැගීම යැයි ද ව්‍යාජ ප්‍රවෘත්ති  පිළිබඳව නිසි පරිදි පරීක්ෂණ පවත්වා අවශ්‍ය නෛතික පියවර ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින්නේ යැයිද අදාල ලිපියේ වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *