ආර්ථික වශයෙන් රට මුහුණ දී සිටින බරපතළ අවස්ථාවක, මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නා දරුවන් සඳහා රුපියල් මිලියන 150ක මූල්‍ය දායකත්වය දී මෙහි මහල් 4ක වාට්ටු සංකීර්ණයක් ඉදි කිරීම සඳහා කටයුතු කිරීම වෙනුවෙන් කතරගම මහා දේවාලයේ ඩිෂාන් ගුණසේකර බස්නායක නිලමේතුමාට රජයේ ගෞරව හිමි වන බව, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පැවසීය. ඔහු මේ බව පවසුවේ, වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීමට එම ස්ථානයට පැමිණි අවස්ථාවේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්, පසුගිය 2023 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ මුල්ගල් තබා ආරම්භ කළ මෙහි ඉදිකිරීම් කටයුතු මාස අටකින් අවසන් කිරීමට නියමිත වන අතර, තව මාසයකින් මෙහි ඉදිකිරීම් කටයුතු සපුරාලීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව දෙන ශ්‍රමදායකත්වය අගය කොට සලකන බවත්, මේ රෝහලේ පවතින අඩුපාඩු සම්පූර්ණ කිරීමට මූල්‍ය අනුග්‍රහය දිය හැකි ආයතන සහ පරිත්‍යාගශීලීන්ට ඉදිරිපත් වන ලෙස ආරාධනා කරන බවත් සාගල රත්නායක මහතා පැවසීය. රජයේ දැඩි කැපවීම මත රටේ ආර්ථික තත්ත්වය ඉහළ මට්ටමකට ළං වෙමින් පවතින බව කී ඒ මහතා රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ගවලට ජනතාවගේ පූර්ණ සහයෝගය ලැබිය යුතු බවත් කීවේය.
මේ අවස්ථාවට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ඇතුළු එම කාර්ය මණ්ඩලයද සහභාගි විය.