පාඨලීගේ පක්ෂයේ ඉහළම පුද්ගලයෙක් එජාපයට

එක්සත් ජනරජ පෙරමුණේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස කටයුතු කළ හිටපු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.

ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා අතිනි. එම මහතාගේ බිරිඳ වන කල්හාරි සුබෝදා අධිකාරි මහත්මිය ද එම අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තාය.

වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික වැඩපිළිවෙළට සහාය දක්වමින් ඉදිරි ජනාධිපතිවරණයේදී කොන්දේසි විරහිතව සහාය දක්වන්නට සූදානම් බව ද නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා එහිදී ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරගම ආසනයේ සංවිධායක ලෙස කටයුතු කළ ගිහාන් පෙරේරා මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා අතින් පක්ෂ සාමාජිකත්වය ලබා ගත්තේය.

ජනාධිපතිවරයාගේ ඉදිරි වැඩපිළිවෙළට සහාය දක්වමින් ජනාධිපතිවරණයේදී ඔහු වෙනුවෙන් සහාය දැක්වීමට සූදානම් බව ද මෙහිදී ඔහු ප්‍රකාශ කර සිටියේය. මේ අවස්ථාවට කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතාද එක්ව සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *