ස්වාධීන අපේක්ෂකයකු ලෙස තමා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ පක්ෂග්‍රාහිත්වයෙන් තොරව අලුත් දැක්මක් සහ අලුත් වැඩපිළිවෙළක් ඔස්සේ රට ඉදිරියට ගෙන යාමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පළාත් ආණ්ඩු 9ක් සහ මධ්‍යම ආණ්ඩුව ඇතුළු ආණ්ඩු 10 ඔස්සේ සියලු දෙනාට වගකීම් පවරමින් එම කටයුතු ඉදිරියට ගෙන යන බවද ජනාධිපතිවරයා කීය.
ජනාධිපතිවරයා මේ බව කීවෙි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් සභාවල හිටපු මහජන නියෝජිතයන් සමඟ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති හමුවේදීය.
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීමට එක්විය යුතු බවට වන යෝජනාව මෙහිදී බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය මහතා විසින් ඉදිරිපත් කළ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මිහින්තලේ ප්‍රධාන සංවිධායක ටී. එම්. ආර්. සිරිපාල මහතා ඇතුළු පළාත් සභාවල හිටපු මහජන නියෝජිතයන් 116 දෙනෙක් දෑත් ඔසවා එය ස්ථීර කළහ.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ රටේ නැඟී එන ආර්ථිකය ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යා යුතු බවයි. එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුම කඩ කළ නොහැකි බවත් මැතිවරණ පැවැත්වුණද එම වැඩකටයුතු වෙනුවෙන් කැපවීම සියලුදෙනාගේ වගකීම බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
හමාස් සංවිධානයේ දේශපාලන නායක ඉස්මයිල් හනියේ ඝාතනය තමා කිසිවිටෙකත් අනුමත නොකරන බවත්, එය තරයේ හෙළාදකින බවත් පැවසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ හේතුවෙන් ඉරානය, මැද පෙරදිග සහ ලෝකයේ ඇතිවිය හැකි තත්ත්වයන්ගෙන් මෙරට ආර්ථිකයට විය හැකි බලපෑම් වලක්වා ගැනීමට ගත යුතු පියවර දැන් සිටම ගැනීමට රජය කටයුතු කරන බවද පැවසීය.