මෙරට වාහන ආනයනය කිරීමට පනවා තිබූ සීමා වසර 5 කට පසුව පසුගිය පෙබරවාරි 1 වැනිදා ඉවත් කිරීමෙන් පසුව වාහන ආනයනය කිරීමට ශ්‍රී ලාංකිකයන් දැඩි උනන්දුවක් දැක්වීම හේතුවෙන් මෙරට නිල විදෙස් සංචිතවලට සෘනාත්මක බලපෑමක් එල්ල වී ඇති බැවින් එය මග හරවා ගැනීමට සුදුසු පියවර ගන්න යැයි මහා භාණ්ඩාගාරය මහ බැංකුවට දන්වා තිබෙන බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
වාහන ආනයනය සීමා ඉවත් කර මාස 5 කදී වාහන ආනයනය කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 742 ක ණයවර ලිපි විවෘත කර තිබෙන බවත් මෙම වසරටම වාහන ආනයනය කිරීම සඳහා වෙන්කර ඇත්තේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1 ක මුදලක් පමණක් බවත් ආරංචි මාර්ග පැවැසුවේය.
ඒ හේතුවෙන් වාහන ආනයනය කිරීම සඳහා බලාපොරොත්තු වූවාට වඩා වේගයකින් ණයවර ලිපි විවෘත වන බවත් වාහන ආනයනයද සිදුවන බවත් භාණ්ඩාගාරය මහ බැංකුවට දැනුම්දී ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. මහ බැංකුව වාහන ආනයනය කිරීමේ ප්‍රවණතා සමීපව අධ්‍යනය කර ඒ සඳහා පිළියම් වේලාසන සූදානම් කරගත යුතු බව භාණ්ඩාගාරයේ නිර්දේශය යැයි ආරංචි මාර්ග පැවැසුවේය.
ඇමෙරිකානු ඩොලර් විශාල වශයෙන් පිටතට ගලා යෑම මෙරට නිල විදෙස් සංචිතවලට මෙන්ම විනිමය අනුපාතවලටද බලපෑමක් එල්ල කරනු ඇතැයි මහා භාණ්ඩාගාරය මහ බැංකුවට පෙන්වා දී ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්ධන ඇතුළු මෙරට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනයන්ට බලපෑම් එල්ල විය හැකි යැයි ආරංචි මාර්ග පැවැසුවේය.
වාහන ආනයන සීමා ඉවත් කිරීමෙන් පසුව මාස 5 ක් තුළ මෙරටට වාහන 18,000 ක් ගෙන්වා තිබෙන බවත් ඉන් රුපියල් බිලියන 220 ක් බදු ආදායමක් උපයා තිබෙන බවත් වාහන ආනයනය පිළිබඳ අදහස් දක්වමින් රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා අප පුවත්පතට ප්‍රකාශ කළේය. වාහන ආනයනය මුල් මාස 6 රේගු ආදායම වූ රුපියල් ට්‍රිලියනයට සැළකිය යුතු දායකත්වයක් ලබාදී තිබෙන බවත් මෙම වසරේ රේගු ආදායම් ඉලක්කය රුපියල් ට්‍රිලියන 2.1 ක් බවත් ඔහු පැවැසුවේය.