පවතින තත්ත්වය හමුවේ රට තුළ වහාම ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමෙන් ඉදිරි දින 20ක් තුළ අමතර මරණ 1,200ක් පමණ වළක්වා ගත හැකි වනු ඇති බව රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය අංශයේ මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා පවසයි.
අමෙරිකාවේ යේල් විශ්වවිද්‍යාලයේ බෝවන රෝග පිළිබඳ විද්‍යාඥයෙකු වශයෙන් ද කටයුතු කරන මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පෙන්වාදී ඇත්තේ ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්ත්වය පුරෝකථනය කරන දත්ත මඟින් එය පෙන්නුම් කරන බවය.
තීරණ ගැනීමේ දින 05ක ප්‍රමාදය, අවම වශයෙන් පුද්ගලයින් 700 දෙනෙකු මරණයට හේතු වනු ඇති බව එම දත්ත උපුටා දක්වමින් මහාචාර්යවරයා සඳහන් කර තිබේ.
සති දෙකක් තුළ මෙරට දෛනික මරණ සංඛ්‍යාව 150 ඉක්මවා යා හැකි බවට මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා පසුගිය 7 වනදා සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබුණි.
අඛණ්ඩව දෙවන දිනටත් දෛනික මරණ සංඛ්‍යාව 100 සීමාව ඉක්මවා යමින් පසුගිය 9 වැනිදා සිදුවූ තවත් කොවිඩ් මරණ 118ක් ඊයේ (10)සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළේය.
අගෝස්තු මාසයේ ගතවූ දින 09 තුළ සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 832ක් වන අතර ඒ අනුව මේ වන විට දෛනිකව මෙරට කොවිඩ් මරණ 92ක් පමණ සිදුවේ.
මේ අතර ගත වූ දිනයේ දිවයිනේ වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාවක වන ආසාදිතයින් 511 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.
ගම්පහයින් 402 දෙනෙකු, කළුතරින් 363 දෙනෙකු, ගාල්ලෙන් 287 දෙනෙකු, හම්බන්තොටින් 171 දෙනෙකු, මාතලෙන් 138 දෙනෙකු සහ මොනරාගලින් 105 දෙනෙකු ලෙස දිස්ත්‍රික්ක 07කින් ආසාදිතයින් 100 ඉක්මවා හඳුනාගෙන ඇත.