දුම්රිය රියදුරු වර්ජනයෙන් ගමන් වාර 100ක් අවලංගුයි

ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමයට අයත් දුම්රිය රියදුරන්  ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් අද දිනයේ දුම්රිය ගමන් වාර 100 කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

දුම්රිය රියදුරු වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක වීම හේතුවෙන් පස්වරුවේ කාර්යාල සේවකයන් ඇතුළුව දිනය අවසන් කර නිවෙස් බලා යෑමට දුම්රිය ස්ථාන වෙත පැමිණි ජනතාව දැඩි අපහසුතාවට පත්වූහ.

සියලුම දුම්රිය මාර්ගවල සිට අද පෙරවරුවේ පිට පළාත්වලින් දුම්රිය කොළඹට පැමිණිය ද පස්වරුවේ එම දුම්රිය රැසක් කොළඹින් පිටත් නොවීමෙන් මගී ජනතාව අපහසුතාවට පත්වූහ.

කෙසේ වෙතත් අද පෙවරුවේ ද දුම්රිය ගමන් වාර 30 කට අධික සංඛ්‍යාවක් අවලංගු කිරීමට සිදුවිය.

රාත්‍රී තැපැල් දුම්රිය සහ දුරගමන් සේවා දුම්රිය සාමාන්‍ය පරිදි රාත්‍රී ධාවනය කිරීමට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමයේ ප්‍රකාශයෙක් පැවසුවේ බලධාරීන් සිය ඉල්ලීම්වලට අවධානය යොමු නොකරන්නේ නම් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

දුම්රිය නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉදිපොළගේ මහතා මහතා පැවසුවේ දුම්රිය රියදුරන්ට සාකච්ඡාවක් දී තිබියදී මෙම වර්ජනය ක්‍රියාත්මක කළ බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *