’’දරුවන් ගැන සිතා සේවයට එන්න’’ – විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති

අනධ්‍යයන සේවක වැඩවර්ජනය හේතුවෙන් මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය දැවැන්ත අර්බුදයකට පත්ව ඇති බවත් දරුවන් ගැන සිතා සේවයට වාර්තා කරන ලෙස සියලුම අනධ්‍යයන සේවකයන්ගෙන් ඉල්ලීමක් කරන බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා  පැවසීය.

කොළඹ 7, පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා කාර්යාලයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එම කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා එසේ පැවසීය.

අනධ්‍යයන සේවක වැඩවර්ජනය හේතුවෙන් අධ්‍යයන කටයුතුවලට බලපෑම් ඇතිවීමෙන් මේ වන විට විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු මාර්ගගත ක්‍රමයට ක්‍රියාත්මක වන බවත් රජරට විශ්වවිද්‍යාලයේ 3,500 ක් පමණ වන නේවාසික සිසු සිසුවියන් නේවාසිකාගාරවලින් පිටව ගොස් ඇති බවත් අමරතුංග මහතා කීය.

‘කොවිඩ්’ වසංගතයෙන් දැඩි අපහසුතාවට පත්ව සිටි දරුවන් 2022 වසරට නියමිත උසස් පෙළ විභාගයට 2023 වසරේ පෙනී සිට විශ්වවිද්‍යාලවල පළමු වසරේ අධ්‍යාපනය ලබන බවත් 2023 වසරේ විභාගය මෙම වසරේ පවත්වා මේ මස ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිත බවත් ඒ මහතා කීය.

අනධ්‍යයන සේවක වැඩවර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන ශිෂ්‍ය අත්පොත සකස් කිරීමේ කටයුතු ඇනහිටීමෙන් දරුවන් විශ්විද්‍යාලයට ඇතුළත් කරගැනීම ප්‍රමාදවී බව කී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා වර්ජනය හේතුවෙන් එසේ විශ්වවිද්‍යාල ප්‍රවේශය ප්‍රමාද වීම සහ අධ්‍යයන කටයුතු ඇන හිටියහොත් එම කණ්ඩායම් දෙකම පළමු වසරේම රැදී සිටීමේ අවදානමක් ද ඇති බව ද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *