ළගකදි ආයෙත් ඡන්දයක් නොපැවැත්වෙන බවත්, ඉදිරියේදි තෙල්මිල ශත පනහකින් හෝ අඩුකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා 28දා රත්නපුරේදී පැවසුවේය.
පසුගිය දිනවල මිනිස්සු තෙල් රැස්කරගෙන තිබෙන බවත් කී ඇමතිවරයා තෙල් මිල වැඩිවනු ඇතැයි සිතා එසේ අනවශ්‍ය තොග රැස්කරගැනීමෙන් කිසිදු ඵලක් නොවන බවත් කීවේය. තමන්ට තෙල් අඩුවන මිල කීයදැයි නිශ්චිතවම කිව නොහැකි නමුත් අනිවාර්යයෙන් තෙල් මිල අඩුවන බව ද කීවේය.
”පුනරුද යුගයේ ඉංජිනේරැ වෘත්තිකයන්ගේ කාර්යාභාරය” මැයෙන් ජාතික විද්වත් සංවිධානයේ රත්නපුර දිස්ත්‍රික් ඉංජිනේරු වෘත්තිකයන් සහ එම කේෂ්ත්‍රයේ සේවයේ නියුතු සහ විශ්‍රාමික වෘත්තික හමුවේදී ඇමතිවරයා මේ බව කීවේය.
රත්නපුර මලංගම සප්තපාදි හෝටලයේ දී එම හමුව පැවැත්විනි. එහිදී කතාකළ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා :
”දැන් විදුලි බිල පිළිබදව රටේ කතා බහට ලක්වෙලා තියනවා. සමහරු අපට චෝදනා කරනවා ඩීසල් විදුලි බලාගාර වලින් අපි විදුලිය මිලදි ගන්නවා කියලා. මේ දිනවල අපි එහෙම කරන්නේ නෑ. දිවා කාලේදි අපි රටේ මුලු විදුලිබල අවශ්‍යතාවෙන් 70%ක් ජනනය කරන්නේ පුනර්ජනනිය බලශක්ති ප්‍රභවයන්ගෙන්. වහල මත සවිකළ සුර්ය පැනල හරහා මෙගවොට් 1400-1500ත් අතර ප්‍රමාණයක් දිනකට නිපදවනවා. නමුත් සවස 03.00න් පස්සේ අපිට විකල්පයකට යන්න වෙනවා.”
”ගල් අගුරු සහ ජලවිදුලි බලාගාරවලින් තමයි ඊට පස්සේ අපි අවශ්‍ය විදුලිය ගන්නේ. සුර්ය විදුලි පද්ධතිවලින් මුල්කාලයේ විදුලිය ඒකකයක් අරගෙන තිබුණේ රුපියල් 37 ගානේ. ඊට පස්සේ ඒක රුපියල් 27 දක්වා අඩුකළා. පසුගිය 16දා සිට අපි එය රුපියල් 20 දක්වා අඩුකළා.”
”රුපියල් 37 සහ 27 ගානේ ගන්න විදුලිය මෙගාවොට් 735කට තව අවුරුදු 19ක් වගේ කාලයක් ගන්න වෙන්නවා. එදා ඒ විදියේ ගිවිසුම් ගිහිං තිබුණේ දේශපාලනඥයන්ගේ සහ නිලධාරීන්ගේ. ව්‍යාපාරිකයන්ගේ වාසියට. ලංකාවේ මාසිකව යුනිට් 90ට අඩුවෙන් භාවිතා කරන ප්‍රමාණය ලක්ෂ පනහක්. යුනිට් 120ක් පාවිච්චි කරන ප්‍රමාණය මිලියන 20ක්. යුනිට් 90 දක්වා අයගෙන් යුනිට් එකකට අයකරන්නේ රුපියල් 18.50යි. වැඩිමිලට විදුලිය අරගෙන අඩු මිලට අලෙවි කරනවා. මේක කාලාන්තරයක් තිස්සේ වෙච්ච දෙයක්. ඒකයි විදුලිබිල අඩුකරන්න බැරි. මණ්ඩලේ පාඩුයි කියන්නේ ඒකයි”
”වාර්ෂිකව අපි ලබන ආදායම බිලියන 21.5යි. එන් බිලියන 20ක් කලින් ගත්ත විදේශ ණය ගෙවන්න වැය වෙනවා. ඉතිරි මුදලින් තමයි පඩිනඩි ගෙවාගෙන මණ්ඩලේ නඩත්තුව ගෙනියන්නේ. ජනතාවට අඩු මිලට විදුලිය දෙන්න ඕනෑ නිසායි අපි සුර්ය බලශක්ති ඒකකය මිල අඩු කළේ.”
”කිලෝවොට් පහේ සුර්ය විදුලි බල පද්ධති විශාල ප්‍රමාණයක් තියනවා. එක ට්‍රාන්ස්ෆෝමරයකින් කිලෝවොට් 100ක පුනර්ජනනීය විදුලිය ගන්න පුලුවන් . ඒ කියන්නේ කිලෝවොට් පහේ සූර්ය විදුලි පද්ධති 20ක් පුලුවන්. කොටින්ම කිව්වොත් ගෙවල් විස්සක වහල මත කිලෝවොට් පහේ සුර්ය පැනල සවිතරන්න පුලුවන්. නමුත් කිලෝවොට් පහේ සුර්ය පද්ධති හතරක් දීලා තිහේ පද්ධති දෙක හදන්න උපදෙස් දිපු තැන් තියනවා. ඒ ට්‍රාන්ස්ෆෝමරයෙන් ආය දෙන්න පුලුවන් තව හතර දෙනෙකුට විතරයි. එහෙම මාෆියාවක් සිදුවෙලා තිබුණා. අම්පාර ප්‍රදේශයේ විදුලි ඉංජිනේරුවෙකුගේ වැඩ තහනම් කරන්නත් වුණා.”
”දැනට වහල මත සවිකළ සුර්ය විදුලි බල පද්ධතිවලින් අපිට විදුලිය දෙන 85000ක් ඉන්වා. ඒ කාටවත් රුපියල් 20ට ඒකකය අඩුකළ එක බලපාන්නේ නෑ. දැන් එවැනි වහලමත සවිකරන පුනර්ජනනීය විදුලි පද්ධතිවල මිල 33%කින් අඩුවෙලා තියන නිසා අනතාගයේ සුර්ය විදුලි පද්ධතියක් සවිකරන්න ඉන්න අයට බලපෑමක් වෙන එකක් නෑ. නමුත් දැන් මේ සිස්ටම් එක අන්බැලන්ස් කරලා තියෙන්නේ. මේවා දේශපාලඥයන් සහ ඉහළම නිලධාරින් එක්ක කරපු දූෂණ ක්‍රියා. ”
”කොහොම නමුත් අපි විදුලි ඒකකයක් රුපියල් 15ට අඩුකරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි ඒක වළං කඩේට පැන්න ගොනා වගේ කරන්න පුලුවන්කමක් නෑ. පද්ධතියත් සමබර කරගෙන කරන්න ඕනැ දෙයක්. ආණ්ඩු මාරුකරන්න කරන්ට් එකට පුලුවන්. අපි ඒ බව දැනගෙන පාරිබොගිකයන්ටත් සහනයක් දෙමින් පද්ධතියත් කඩාවැටෙන්නට ඉඩ නොදී බලශක්ති අර්බුදය ජය ගත යුතුයි. ඒ සදහා ඉංජිනෙරු වෘත්තිකයන් ඇතුලු වෘත්තික ප්රඡාවගේ නොමසුරු සහය අපිට අවශ්‍යයි. අපි තවම යන්නේ අපේ අයවැයක් අනුව නෙවෙයි. මේ ගිය අවරුද්දේ අයවැය යෝජනායි අපිට ක්‍රියාත්මක කරන්න වෙලා තියෙන්නේ. ඒ නිසා ඉතිරි මාස හතේ රටේ සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කරන්න දීමනාවක් බලාපොරොත්තු නොවී රජයට සහාය දෙන්න කියලා ඉංජිනේරු සහ ඒ සම්බන්ධ වෘත්තිකයන්ගේන් ඉල්ලා සිටිනවා” යැයිද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා මහතා කීවේය.
මෙම අවස්ථාවට රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ශාන්ත පද්ම කුමාර, ජනක සේනාරත්න, ඩිජටල් ආර්ථික අමාත්‍යාංශයේ අපදේශක සුමුදු රත්නායක, වෘත්තිය පුහුණු අධිකාරියේ සභාපති විජිත වීරතුංග යන මහත්වරැ ඇතැලු රත්නපුර දිස්ත්‍රික්කයේ ඉංජිනේරුවරු හා එම සේවාවන්වලට අනුබද්ධ වෘත්තිකයෝ රැසක් පැමිණ සිටියහ.