දිලීරයකින් බෝවන ටීනියා හුදෙක් චර්ම රෝගයක් මිස කොවිඩ් වසංගත රෝගය සමග සෘජු සම්බන්ධතාවයක් නැතැයි චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරු පවසති.
උතුරුමැද පළාත මුල් කරගෙන ශ්‍රී ලංකාව පුරා දිලීර රෝගයක් පැතිර යන බව පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයවීමත් සමග කොවිඩ් වසංගතය හමුවේ ජනතාව අතර ව්‍යාකූලතාවක් ඇතිවිය.
ඒ නිසා ටීනියා රෝගය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා ඊයේ පස්වරුවේ “කොවිඩ් සහ ටීනියා දිලීර රෝගය අතර සබැඳියාව ඇත්තක්ද? ” මැයෙන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධානය කළ ප්රවෘත්ති සාකච්ඡාවේදී වෛද්‍යවරු මේ මතය පළ කළහ.
ටීනියා යනු දිලීරයක් නිසා සමෙහි ඇතිවන ආසාදනයක් බවත් මිනිසුන්, සතුන් හා පස ඇතුළු බාහිර පරිසරයේ පවතින ඩර්මටොෆයිට් (Dermatophyte) නම් දිලීර විශේෂයක් නිසා ඇතිවන රෝගය මනුෂ්‍යයාගේ නිය, හිසකෙස් සහ සමෙහි බාහිර ස්ථරය තුළ වැඩෙමින් පැතිර යන බවද එහිදී පැහැදිලි කෙරුණි.
කැසීමක් සහ රතු පැහැති ලප ලෙස හටගන්නා රෝගය ඉකිලි, කිහිලි වැනි දහදියදැමීම අධික සිරුරේ නැමෙන ස්ථානවල පළමුව හටගෙන පසුව සිරුරේ ඕනෑම තැනකට පැතිරී යනු ඇත.
ඕනෑම වයස් කාණ්ඩයක පසුවන අයෙකු රෝගයට ගොදුරු වියහැකි අතර කුඩා ළමුන්ට හිස්කබල ආශ්‍රිතව රෝගය හට ගැනීමට වැඩි ඉඩකඩක් පවතී.
චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සම ලේකම් චර්ම රෝග විශේෂඥ වෛද්‍ය දීපානී මුනිදාස, කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ජනක අකරවිට, රිජ්වේ ආර්යා ළමා රෝහලේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි සමරවීර සහ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය නයනි මදරසිංහ මෙම ප්රවෘත්ති සාකච්ඡාවට එක්වී සිටියහ.