ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට, මෙම 2025 වසරේ නොබෙල් සාම ත්‍යාගය හිමිවිය යුතු බව පාකිස්තාන රජය පවසයි.
පාකිස්තාන රජය මෙසේ පවසා ඇත්තේ, පසුගිය අප්‍රේල් 22 වැනිදා ඉන්දු කාශ්මීරයේ දී, ඉන්දීය සංචාරකයන් පිරිසක් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත්, පාකිස්තානයත් අතරේ හටගත් යුදමය තත්ත්වය සමතයකට පත් කිරීමට මැදිහත් වූ බැවිනි.
ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ ගුවන් ප්‍රහාර දරුණු ලෙස එල්ල වෙද්දී, ට්‍රම්ප් දෙපාර්ශ්වයට ඇමතුම් දී පැය ගණනක් සාකච්ඡා පවත්වා සටන් විරාමයක් සදහා කැමැත්ත ලබා ගත්තේය. ඒ, මැයි 10 වැනිදාය.
තමන් මැදිහත් වී, රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සටන් විරාමයකට යෑමට ඉන්දියාවත් පාකිස්තානයත් කැමැති කරගත් බව ට්‍රම්ප් ද පවසන්නේ මහත් ආඩම්බරයෙනි. කෙසේ නමුත් ට්‍රම්ප්ට නොබෙල් සාම ත්‍යාගය ලබා දීම සම්බන්ධයෙන් ඉන්දියාව මෙතෙක් කිසිවක් පවසා නැත.