ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ආර්ථිකය ශක්තිමත් කිරීමට ගන්නා වූ තීන්දු තීරණ වලට වැඩිපුරම සතුටු වන්නේ මෙරට විපක්ෂය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ දී පැවසීය.
ලෝකයේ කිසිදු උපද්‍රවයකදී කඩා නොවැටෙන ලෙස ශක්තිමත් ආර්ථිකයක් මෙරට ස්ථාපිත කරන බව ද ජනාධිපතිවරයා කීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේ “ජය නියතයි ගම අපිටයි” ජන රැලි මාලාවේ මොරටුව ජනරැළියට සහභාගී වෙමිනි.
“සැප්තැම්බර් මස ආරම්භ කළ මාවත ඉදිරියට යනවාද නැද්ද නැත්නම් පරණ විනාශකාරී දිශාවකට හරනවාද කියන තීන්දුව මේ රටේ ජනතාව ගත කළ යුතුයි. විපක්ෂය කුමක් කිවුවත් මේ මාවත ඉදිරියට යෑමේ එකඟතාව මේ රටේ බහුතර ජනතාව මැයි මාසයේ 06 වන දා පළ කරන බව පැහැදිලියි. අද විපක්ෂය විචාරකයන් පමණයි. ඔවුන්ට පක්ෂ නැහැ. ඔවුන් අද කරන්නේ ජනතාවට අභිමුඛ වෙනවාට වඩා මාධ්‍ය ඉදිරියේ අභිමුඛ වීමයි. අද ජනතාවට තෝරාගත යුතු එකම ව්‍යාපාරය ජාතික ජනබලවේගය පමණයි යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.