ජනපති මාලනී වෙනුවෙන් සොව පළ කරයි

මාලනී තමන් සිටි යුගයට වඩා ඉදිරියෙන් සිටි රංගවේදිනියක බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  අභාවප්‍රාප්ත අග්‍රගන්‍ය රංගනවේදනී මාලනී ෆොන්සේකා මහත්මියගේ වියෝව සම්බන්ධයෙන් ශෝක සටහනක් තබමින් පවසයි.

“1968 වර්ෂයේ දී සිය රංගන දිවිය ආරම්භ කළ හෙළ සිනමාවේ නිළි රැජිණ හෙවත් මාලනී ෆොන්සේකා මහත්මිය ඊයේ (24) දින සිය දිවි සැරිය නිමා කරන්නේ තවත් එක් කලාකාරියක හෝ ශිල්පිනියක ලෙස නොව වේදිකා නාට්‍ය, සිනමාව සහ ටෙලි නාට්‍යද යන සියලුම අංශයන්හිදී අසාමාන්‍ය ප්‍රතිභාවක් විදහා දැක්වූ රංගවේදිනියක ලෙසය.

ඇය විසින් ගොඩනගා ගත් රංග පෞරුෂය ලාංකේය සිනමාවේ වෙනත් කිසිදු රංගන ශිල්පිනියකට නොදෙවෙනි වන නිසාම ඇය හඳුනා ගත හැක්කේ තමන් සිටි යුගයට වඩා ඉදිරියෙන් සිටි රංගවේදිනියක ලෙසිනි.

දශක ගණනක් සිය රංගන ප්‍රතිභාවෙන් ලාංකේය සිනමාව පෝෂණය කළා වූද ලාංකේය සිනමා සන්නාමය දේශීය වශයෙන් මෙන්ම අන්තර්ජාතික වශයෙන් ඔසවා තැබුවා වූද කීර්තිමත්, ප්‍රවීණ රංගවේදිනී මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මියට දැයේ ප්‍රණාමය පුද කර සිටිමු” යනුවෙන්ද ජනාධිපතිවරයාගේ ශෝක සටහනේ සඳහන් වේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *