කොළඹ ඇමැති බංගලා ලොකු කුලියක් ගෙවන රජයේ ආයතනවලට

කොළඹ ඇමැති බංගලා බොහොමයක් පෞද්ගලික ආයතනවලට ලොකු කුලී මුදල් ගෙවමින් පවත්වාගෙන යන අමාත්‍යාංශ ඇතුළු ආයතන වෙත ලබාදීම කෙරෙහි රජයේ ඉහළ අවධානය යොමුවී ඇත.

මේ සම්බන්ධයෙන් අප රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඇමති බංගලා එවැනි ආයතනවලට ලබාදීමෙන්  පෞද්ගලික ගොඩනැගිලිවලට කුලී වශයෙන් ගෙවූ ලොකු මුදලක් රජයට  ඉතිරි කරගත හැකි බවයි.

පෞද්ගලික ගොඩනැගිලිවලට කුලී ගෙවන ආයතන තිහකට ආසන්න සංඛ්‍යාවක් කොළඹ පවතින බව වාර්තාවේ.

මේ අතර ඇමැති බංගලා කුලියට  ගැනීම සඳහා දෙස් විදෙස් ආයතන පනහකට වැඩි සංඛ්‍යාවක් ඉල්ලීම් ඉදිරිපත් කර ඇතැයි අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් කරුණු සලකා බලාගෙන යන බවද  අමාත්‍යවරයා පැවසුවේය.

ඇමතිවරුන්ට වෙන් කෙරුණු බංගලා පනහක් පමණ කොළඹ පවතින්නේය. ඇමැති බංගලා පාවිච්චි නොකිරීමට  ජාතික ජන බලවේග රජය බලයට පත්වීමෙන් පසු  ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තේය.

මේ අතර ජනාධිපති බංගලා සම්බන්ධයෙන් නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක  මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ  එම බංගලාද  ඵලදායි ව්‍යාපෘතිවලට යොදා ගැනීම සම්බන්ධයෙන් කරුණු සොයා බලාගෙන යන බවයි.

ඒ  බංගලා සම්බන්ධයෙන් විදේශ රටවලින්ද ඉල්ලීම් රැසක් ලැබී ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *