ශ්‍රී ලංකාවේ ජාතික සමගිය හා සංහිඳියාව තහවුරු කිරීමට සහ මානව හිමිකම් සුරැකීමට ජනාධිපති ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළට සහාය ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් (Volker Türk) මහතා ප්‍රකාශ කළේය. මෙරට සංචාරයක නිරතව සිටින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා ඊයේ (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ සිදු වෙමින් තිබෙන නව දේශපාලනික සහ සමාජයීය පරිවර්තනය අගය කළ මහ කොමසාරිස්වරයා, උතුරේ සහ දකුණේ සියලු ජනතාව වත්මන් ජනාධිපතිවරයා සහ රජය කෙරෙහි දැඩි විශ්වාසයක් තබා ඇති බව සඳහන් කළේය.
තමා මෙරට කළ සංචාරයේදී ශ්‍රී ලංකාවේ සිදු වෙමින් පවතින නව පරිවර්තනය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට හැකි වූ බව සඳහන් කළ වොල්කර් ටර්ක් මහතා රටේ සියලු ජනතාව යහපත් අනාගතයක් පිළිබඳ නව බලාපොරොත්තු තබා සිටින බව තම විශ්වාසය බවද පැවසීය.