ඉන්දීය ධීවරයන්ගේ බලහත්කාරයට යාපනයේ ධීවරයෝ විරෝධතාවයක

ඉන්දීය ධීවරයින්ගෙන් උතුරේ ධීවරයින්ට සිදුවන අසාධාරණකම්වලට විරෝධය පළ කිරීමක් වශයෙන් යාපනයේ ධීවර සංගම් නියෝජිතයෝ පෙරේදා (19) සිට දහවල් නිරාහාර උපවාසයක් ආරම්හ කොට තිබේ.

යාපනයේ ධීවර සංගම් නියෝජිතයෝ මරතඩි හන්දියේ සිට විරෝධතා පා ගමනකින් යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය වෙත ගොස් කාර්යාලය ඉදිරිපිට මෙම උපවාසය ආරම්භ කර ඇත.

අනතුරුව ස්වල්ප වේලාවකින් එතැනට පැමිණි පොලිසිය උපවාස කරුවන්ව එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගත් අතර පසුව ඔවුන් ඊට මඳක් නුදුරින් පිහිටි යාපනයේ ශාන්ත ජෝන් බොස්කෝ විද්‍යාලය ආසන්නයේ එම උපවාසය දියත් කොට තිබේ.

උපවාසකරුවන් පවසා සිටින්නේ මේ දිනවල ඉන්දීය ධීවරයින් විශාල ප්‍රමාණයක් උතුරු මුහුදට බලහත්කාරයෙන් පැමිණ මසුන් මැරීමේ කටයුතුවල නිරත වන අතරවාරයේ උතුරේ ධීවරයින්ට අයත් දැල් කැපීමත් ධීවරයින්ට පහර දී බිය ගන්වන බවත්ය.

නාවික හමුදාවට අත්අඩංගුවට ගැනීමට හැකි වන්නේ මුහුදට පැමිණෙන ඉන්දීය ධීවරයින්ගෙන් සියයට දහයක පමණ ප්‍රමාණයක් නිසා මේ ප්‍රශ්නයට වහාම රජය මැදිහත්වීමක් අවශ්‍ය බව ද උපවාසකරුවෝ පවසා සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *