ඇතැම් ආගමන විගමන ලොක්කන් පාතාලයන්ට පාස්පෝට් දීලා – ජනාධිපති

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඇතැමුන් නීති විරෝධී ලෙස හිරකරුවන්ට නිදහස ලබා දී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික පොසොන් උත්සවය අමතමින් ඓතිහාසික මිහින්තලා පුදබිමේදී පැවසීය.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ  සමහර නිලධාරීන් නීති විරෝධී ගමන් බලපත්‍ර නිකුත් කරන තැනට පත්ව තිබෙන්නේ යැයි කී ජනාධිපතිවරයා එලෙස  පතාල නායකයින්ට ගුවන්ගමන් බලපත්‍ර නිකුත් කර තිබෙන බව සඳහන් කළේය.

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් නීති විරෝධී වැඩ කර තිබෙන අතර මෙම ආයතන පිළිබඳ පුරවැසියා සිටින්නේ සතුටුදායක මානසික තත්ත්වයකින් නොවේ යැයි ජනාධිපතිවරයා කීය.

මෙම රාජ්‍ය ආයතන පද්ධතිය නැවත ගොඩනැගීම සඳහා කටයුතු කරන බව පැවසූ ජනාධිපතිවරයා එම කාර්ය  අත් නොහැර සිදු කිරීමට පොදු පුරවැසියාගේ සහයෝගය අවශ්‍ය බව සඳහන් කළේය.

ලංකාවේ පරිහානික යුගය අවසන් කර ජයග්‍රාහී භෞතික සහ ආධ්‍යාත්මික දියුණු ජීවන තත්ත්වය වෙත පරිවර්තනය කළ යුතුව තිබෙන්නේ යැයිද ජනාධිපතිවරයා කීය.

පුරවැසියාගේ පුරවැසි වගකීම වර්ධනය කිරීම සඳහා ශිෂ්ට සම්පන්නභාවය රැගෙන ආ යුතු යැයි ද ඒ සඳහා බෞද්ධ දර්ශනයෙන්   මඟපෙන්වීමක් ලබා ගත හැකි බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *