“ආණ්ඩුව මුදල් වෙන්කර සඟවාගෙන ඉන්නවා” – ශ්‍රී ලකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති

වර්තමාන ආණ්ඩුව සංවර්ධන ව්‍යාපෘති සඳහා අයවැයෙන් රුපියල් බිලියන 500 ක් හෙවත් රුපියල් කෝටි 50,000 ක් වෙන්කළ ද වර්තමානය වන විට එම මුදලින් රුපියල් බිලියන 5 ක් හෙවත් රුපියල් කෝටි 500 කටත් වඩා අඩු ප්‍රමාණයක සංවර්ධන ව්‍යාපෘති පමණක් ආරම්භ කර ඇති බවත් ශ්‍රී ලකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති එම්. ඩී. පෝල් මහතා පැවසීය.

රුපියල් බිලියන 5 කටත් අඩු වටිනාකමින් යුත් ව්‍යාපෘතිවලට පමණක් ටෙන්ඩර් කැඳවා ව්‍යාපෘති ආරම්භ කර ඇති බවත් ඒ හේතුවෙන් ඉදිකිරීම් කර්මාන්තක්රුවන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බවත් ඒ මහතා කීය.

වසරක පහක පමණ කාලය තුළ ඉදිකිරීම් කර්මාන්තය කඩාවැටෙන තත්වයක් ඇති බව කී ඒ මහතා එම කර්මාන්තය රැකගැකනීමට නම් වෙන්කළ රුපියල් බිලියන 500 ට ව්‍යාපෘති ආරම්භ කිරීමට ආණ්ඩුවට යුතුකමක් ඇති බව ද සඳහන් කළේය.

විශේෂයෙන්ම රාජ්‍ය අංශයේ ව්‍යාපෘති රාජ්‍ය නිලධාරීන් සහ ඉංජිනේරුවන් සැළසුම් කිරීම, ඉන්පසුව ටෙන්ඩර් කැඳවීම ආදි ක්‍රියාවලිය ඉතාම මන්දගාමී තත්වයක ඇති බවත් මෙරට මැති ඇමතිවරු සහ අමාත්‍යංශ ලේකම්වරු ඒ සඳහා දැඩි අවදානයමක් යොමුකර වැඩපිළිවෙළක් සකස් නොකිරීම මෙයට ප්‍රධාන හේතුව ලෙස දකින බව ද ඔහු කීය.

මෙම තත්වය පිළිබඳව කළ විමසුමකදී නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පැවසුවේ අයවැයෙන් එම මුදල් පසුගිය මාර්තු මස සම්මත වූ බවත් ඒ අනුව වසර මුල මුදල් වෙන්කිරීමේ හැකියාව නොතිබුණු බවත්ය.

එවැනි ප්‍රකාශ කරන මහත්වරු මීට පෙර වැඩකළ ආණ්ඩු වැඩකළ ආකාරයට වර්තමාන ආණ්ඩුව වැඩනොකරන නිසා ඔවුන්ට ඉවසා බලාසිටිය හැකි බව කී අමාත්‍යවරයා මෙම වසර අවසන් වන විට එම මුදලින් සියයට 70 කට වැඩි මුදලක් ව්‍යාපෘතිවලට යෙදවන බව ද සඳහන් කළේය. අයවැයෙන් වෙන්කළ මුදලින් බිලියන 39.8 ක් ජලසම්පාදන මණ්ඩලයේ ව්‍යාපෘතියකට වෙන්කර ඇති අතර සෙසු මුදල් නියමිත ප්‍රසම්පාදන පටිපාටියට අනුව යොදවන බවත් ගෙදරක මුදල් වියදම් කරන ආකාරයකට ආණ්ඩුවකට මුදල් වියදම් කළ නොහැකි බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *