අරාබි උප අගමැති ජනපති හමු වෙයි

ශ්‍රී ලංකාවේ  බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  උප අගමැති සහ විදේශ කටයුතු අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් සයිඩ් අල් නහියාන් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ පැවසීය.

මෙරට සංචාරයක නිරත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  උප අගමැති සහ  විදේශ කටයුතු අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් සයිඩ් අල් නහියාන් මහතා ප්‍රමුඛ දූත පිරිස ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (22)  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව හා  එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර දිගු කාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත්  ශක්තිමත් සහ වැඩිදුයුණු කර දෙරටටම ආර්ථික ප්‍රතිලාභ අත් කර ගැනීමේ අරමුණින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  උප අගමැතිවරයා ඇතුළු දූත පිරිස මෙරට සංචාරයක නිරත වෙයි.

මෙහිදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ එහි ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නව පාලනයට සුබපැතුම් එක් කළ උප අගමැතිවරයා නව රජයේ වැඩපිළිවෙළ සඳහා  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පූර්ණ සහාය ලබාදෙන බවද ප්‍රකාශ කළේය.

එමෙන්ම ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උත්සාහය, කැපවීම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පිළිබඳ පවතින ධනාත්මක ආකල්පය උප අගමැතිවරයාගේ පැසසුමට ලක් විය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ මේ වන විට ශ්‍රී ලංකාවේ  ආයෝජනය සඳහා  හිතකර පරිසරයක් නිර්මාණය වී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *