අර්චුනාගේ සිද්ධියට පොලිසිය අධිකරණයෙන් සමාව ගනී

රියදුරු බලපත්‍රයක් නොමැතිව මෝටර් රථයක් පදවමින් අනුරාධපුර කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර සාපරාදී බලහත්කාරය පා තර්ජනය කිරීමේ සිද්ධියේ නිවැරදි සැකකරු යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය රාමනාදන් අර්චුනා යන අය බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය, යළි වැඩි දුර වාර්තාවක් මගින් අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ, මෙම සිද්ධියට අදාළ නඩුව අනුරාධපුර මූලස්ථාන පොලිසිය කළ ඉල්ලීමකට අනුව මෝසමක් මගින් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා ඉදිරියේ යළි කැඳවූ අවස්ථාවේදීය.

අදාල වැඩි දුර වාර්තාව ඉදිරිපත් කරමින් අනුරාධපුර මූලස්ථාන පොලිසිය තව දුරටත් අධිකරණයට දැනුම් දුන්නේ, මෙම රථ වාහන නඩුවට අදාළ සැකකරු ලෙස අර්චුනා ලෝචනා නමැති නම මීට පෙර මුල් බී වාර්තාවේ සඳහන් වූයේ අතපසුවීමකින් බවය. ඒ පිළිබඳව අධිකරණයෙන් සමාව අයදින බවද පොලිසිය කීවේය.

ඒ අනුව මෙම රථ වාහන නඩුවේ නිවැරදි සැකකරුගේ නම ලෙස රාමනාදන් අර්චුනා වශයෙන් යළි සංශෝධනය කිරීමට අධිකරණයේ අවසරය ලබා දෙන ලෙසත්, නිවැරදි සැකකරු රාමනාදන් අර්චුනා ලෙස පිළි ගන්නා ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *