අරගලයෙන් පසු පසුබැස ගිය දූෂිත හා රස්තියාදුකාර දේශපාලනඥයන් යළි හිස ඔසවන්නට පටන් ගෙන ඇතැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. අරගලයාගේ සැබෑ අභිලාෂයන් ඉටුවීමට නම් ජනතා නැගිටීමේ සැබෑ අරමුණ රකින රජයක් ස්ථාපිත කළ යුතු බවද ඔහු පැවසීය.
කුරුණෑගල පැවති ජාතික ජන බලවේගයේ තරුණ රැළියට එක්වෙමින් ඔහු කියා සිටියේ 2022 ජනතා නැගිටීමේ සැබෑ අපේක්ෂාවන් මුදුන් පමුණුවා ගත හැකි එකම දේශපාලන බලවේගය සහ රජය ජාතික ජන බලවේගය බවයි.
දේශපාලනඥයන් අරගලයෙන් පාඩමක් ඉගෙන ගෙන නැති බවත් ඒ වෙනුවට කුඩුකාරයන්ගේ නැගිටීමක් කියමින් ජනතා නැගිටීම හෑල්ලූවට ලක් කරන බවත් ඔහු පැවසීය.
කිසිදු දේශපාලන බලවේගයකට පක්ෂපාතී නොවී පොදු අභිලාෂයන් වෙනුවෙන් ජනතාව විශේෂයෙන්ම තරුණයන් පාරට බැස්ස බව කී දිසානායක කෙසේ වෙතත් යහපත් දේශපාලන තත්ත්වයක් සඳහා ඔවුන්ට අපේක්ෂාව තිබෙන බවද කීවේය.
“මහජනයා බලාපොරොත්තු වුණේ වංචාවෙන් දූෂණයෙන් තොර විනයගරුක නීත්‍යානුකූල රටක්.පොදු සමාජ අරමුණක් වෙනුවෙන් පාරට බැස්සා.ඒ බව පාලකයන්ට නොතේරුණා.එය හෑල්ලූවට ලක්කරලා අරගලයේ යෙදෙන කුඩුකාරයෝ, ගණිකාවෝ කිව්වා.මේ පාලකයෝ කවදාවත් ඉගෙන ගත්තේ නැහැ. එවැනි දැවැන්ත නැගිටීමකින් පවා පාඩමක්,” ඔහු පැවසීය.
තම බලය පාවිච්චි කරමින් ජනතාව මර්ධනය කිරීමට පටන් ගෙන රාජ්‍ය දේපළ විකිණීමට පටන් ගෙන ඇති අරගලයෙන් පසුවද දේශපාලනඥයන් ගමන් කරන්නේ පරණ පාරේම බවද ඔහු පැවසීය.