ltte කොටි

මැලේසියාව කොටි අත්අඩංගුවට ගනිද්දී ශ්‍රී ලංකාව කොටි මුදාහැරීම

කොටි ගුවන් ඒකකයේ නියෝජ්‍ය නායක ගුෂාන්තන් මාස්‌ටර් මෙරටින් පැනගොස්‌ සැඟවී සිටියේ මැලේසියාවේයි. කොටි බුද්ධි අංශ නායක පොට්‌ටුඅම්මාන්ට හමුදාව ගැන තොරතුරු ලබාදුන් කපිතාන් ඉන්දික සංජීව ද ක්‌වාලාලම්පූර් නගරයේ ස්‌ථානගත විය. එහිදී ඔහු මුස්‌ලිම් ලබ්ධිය වැළඳගෙන සාන්ඡ් මොහොමඩ් විය.

මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස්‌ ධුරය දැරූ මේජර් ජෙනරාල් සුමිත් මානවඩු මොවුන් පසුපස හඹා එන බව ඔවුන් දැන සිටියේ නැත.

මේජර් ජෙනරාල් මානවඩුගේ රහසිගත කාර්යයට බාධා එල්ල වූයේ අපේ ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ කාර්යාලයේ සේවය කළ තානාපති නිලධාරියකුගෙනි.

මෙම තානාපති කාර්යාලයේ ගමන් බලපත්‍ර අංශය වෙත අලුත් කිරීම සඳහා ලබාදුන් එකී බලපත්‍රයක ඡායාරූපයක්‌ දුටු මේජර් ජෙනරාල් මානවඩු විශ්මයට පත්විය.

එම ඡායාරූපයේ පිළිබිඹු වූයේ ගුෂාන්තන් මාස්‌ටර්ගේ ඡායාරූපයයි. එහෙත් නම ලෙස දක්‌වා තිබුණේ වෙනත් නමකි.

දින කිහිපයකට පසු ගුෂාන්තන් මාස්‌ටර් තානාපති කාර්යාලයට පැමිණ සිය ගමන් බලපත්‍ර ලබාගෙන පිටව යන අවස්‌ථාවේ මැලේසියා ත්‍රස්‌ත මර්දන පොලිසියේ නිලධාරීන් ඔහු පසුපස ගොස්‌ අත්අඩංගුවට ගනු ලැබීය. ඒ අයුරින්ම කපිතාන් ඉන්දික සංජීව ද අත්අඩංගුවට ගැනුණි.

මේ හැර මීගමුවේ ස්‌වර්ණාභරණ කොල්ලයේ ප්‍රධාන සැකකරු ඇපල් සුනිල් සහ වැට්‌ බදු වංචාවේ මහ මොළකරුවන් දෙදෙනා අල්ලා ගැනීමට මේජර් ජෙනරාල්ට හැකිවිය.

මානවඩුගේ මෙහෙයවීමෙන් වැට්‌ බදු වංචාකරුවන් අල්ලා ගැනීමේ මෙහෙයුම දියත්වන අවස්‌ථාවේ ඉහත කී තානාපති නිලධාරියා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත රහසිගත පැමිණිල්ලක්‌ කරමින් පෙබරවාරි 4 දා නිදහස්‌ දින ජනපති පණිවුඩය කියෑවීම මානවඩු ප්‍රතික්‌ෂේප කර ඇති බව පවසා තිබුණි. එහෙත් ඊට පෙර මේජර් ජෙනරාල්වරයා පෙබරවාරි 4 දා තමා දියත් කළ රහසිගත මෙහෙයුම ගැන දන්වා තිබුණි.

මේ අතර කොටි ගුවන් ඒකකයේ නියෝජ්‍ය නායක ගුෂාන්තන් මාස්‌ටර් අසුවූ බව මැලේසියාවේ පිනාන් ප්‍රාන්තයේ මහ ඇමැති මහාචාර්ය පී. රාමසාමිට හෙළිවිය.

කොටි සංවිධානයේ උපදේශකයකු ලෙස කටයුතු කළ රාමසාමි ශ්‍රී ලංකාව දෙකඩ කිරීමේ අන්තර් වාර කෙටුම්පත ද සකස්‌ කළේය.

එසේම ඊනියා සටන් විරාම සමයේ ඔහු වන්නියට ගොස්‌ කොටින්ට උපදෙස්‌ ද දුන්නේය.

ගුෂාන්තන් මාස්‌ටර් ශ්‍රී ලංකාවට ගෙනයැම සඳහා මානවඩු මහතා සැලසුම් කරන අවස්‌ථාවේ රාමසාමි ප්‍රමුඛ කොටි හිතවාදීහු අධිකරණ නියෝගයක්‌ ලබාගැනීමට ක්‍රියා කළහ.

ඔවුන් අධිකරණයෙන් එම නියෝගය ලබාගන්නා අවස්‌ථාවේ ගුෂාන්තන් සහ කපිතාන් ඉන්දික සංජීව ක්‌වාලාලම්පූර් ගුවන්තොටුපළ වෙත ගෙනැවිත් ආගමන විගමන බලධාරීන්ට භාරදී තිබුණි.

මෙම දෙදෙනා ශ්‍රී ලන්කන් ගුවන් යානාවට ඇතුළු කිරීමෙන් පසු යානාව මොහොතකින් පිටත් විය. ඒ අවස්‌ථාවේ ගුවන්තොටුපළ බලධාරීන්ට අධිකරණ නියෝගය ලැබී තිබුණි. එහෙත් යානාව මැලේසියා අහස්‌ ප්‍රදේශයෙන් ඉවතට පියාසර කර තිබූ නිසා ආපසු යානාව කැඳවීමේ උත්සාහය අසාර්ථක විය.

දැඩි පරිශ්‍රමයක්‌ දරා මෙරටට ගෙන ආ ගුෂාන්තන් සහ කපිතාන් ඉන්දික සංජීව රඳවා සිටියේ බූස්‌ස සිර කඳවුරේ සහ වැලිකඩය.

එහෙත් මාස ගණනකට පසු කොටි ගුවන් ඒකකයේ නියෝජ්‍ය නායක ගුෂාන්තන් සහ ඉන්දික සංජීව නිදහස්‌ විය. ඔවුන්ට එරෙහිව ත්‍රස්‌ත බලධාරීහු කිසිදු චෝදනාවක්‌ ගොනු කර තිබුණේ නැත.

මේ සමයේ රටේ පාලනය භාරව ක්‍රියා කළේ යහපාලන ආණ්‌ඩුවයි. තමා නිදහස්‌ වන බව දැන සිටි ගුෂාන්තන් වැලිකඩ සිරගෙයි සිටි තවත් සිරකරුවකු අමතා තමා ආපසු මැලේසියාවට යන බව කියා සිටියේය.

ඒ වසර 10 කට අධික කාලයක්‌ ඇප ලැබීමකින් තොරව සිරගතව සිටින පොලිස්‌ අධිකාරි ලක්‍ෂමන් කුරේ අමතමිනි.

ගුෂාන්තන් මාස්‌ටර් සහ කපිතාන් ඉන්දික සංජීව මුදාහරින ලද්දේ කෙසේදැයි අදවන තුරු යහපාලන රජය හෙළි කළේ නැත.

මෙම ත්‍රස්‌තයන් නිදහස්‌ වීමට පෙර මේජර් ජෙනරාල් මානවඩු මැලේසියාවෙන් ඉවත් කෙරුණි.

එතැනින් පසු මැලේසියාවේ සිටින කොටි ගැන විමර්ශනයක්‌ සිදුවූයේ නැත.

මේ අතර මැලේසියාවේ කොටි ජාලය ගැන යළි වාර්තා වූයේ කොටි සංවිධානයට සම්බන්ධ සැකකරුවන් 12 කු පසුගිය ඔක්‌තෝබර් 11 දා ත්‍රස්‌ත මර්දන පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙනි.

සොස්‌මා නමැති දැඩි ආරක්‍ෂක නීතිරීති මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔවුන් අරමුදල් එකතු කරමින් කොටි සංවිධානයට ජීවය ලබාදීමට සැලසුම් කරන බව හෙළිවිය. අත්අඩංගුවට ගනු ලැබූවන් අතර ඩී. ඒ. පී. පක්‍ෂයේ මන්ත්‍රීවරු දෙදෙනකු ද විය.

මේ ඩී. ඒ. පී. පක්‍ෂයේ ප්‍රධානතම ක්‍රියාකාරියකු වූයේ කොටි හිතවාදී මහාචාර්ය පී. රාමසාමිය.

මෙම සිද්ධිය ගැන ත්‍රස්‌ත මර්දන පොලිසියේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ අයුබ් පැවසුවේ අත්අඩංගුවේ සිටින චූදිතයන් ත්‍රස්‌තවාදයට අරමුදල් එකතුකර ඇති බවයි.

ඩොලර් 32.75 බැගින් මොවුන් අරමුදල් එකතුකර තිබෙනවා. ලොව පුරා ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානයක්‌ මේ අරමුදල් එකතු කිරීමට සහාය වී තිබෙනවා යෑයි හෙතෙම කියා සිටියේය.

එම ත්‍රස්‌ත මර්දන පොලිස්‌ ප්‍රධානියා තවදුරටත් පැවසුවේ 1990 වසරේදී කොටින්ට ගෙනයැමට සැලසුම් කර තිබූ අවි ආයුධ තොගයක්‌ ද අසුවූ බවයි.

මේ හැර කොටි ඡායාරූප සහ වෙනත් උපාංග රැසක්‌ ද මැලේසියානු පොලිසියට අසුවිය.

මැලේසියාවේ කොටි ජාලයට සහාය දක්‌වන බවට හෙළිවී ඇති තමිල්නාඩුවේ ‘නාම් තමිලර්’ පක්‍ෂයේ නායක සීමන් කිහිප වතාවක්‌ම මැලේසියාවට පැමිණ ඇති බවත් ඔහුගේ සංචාරවල අරමුණු ගැන හෙළිවූවොත් මින් පසු මෙම ඇතුළුවීම තහනම් කරන බවත් ත්‍රස්‌ත මර්දන පොලිස්‌ නිලධාරී අයුබ් වැඩිදුරටත් කීවේය.

මැලේසියාවේ කොටි සංවිධානයට ජීවය ලබාදීමට උත්සාහ කිරීමේ සිද්ධිය ගැන රජය මැලේසියානු බලධාරීන්ගෙන් තොරතුරු විමසා නැත. ඒ ව්‍යාජ සංහිඳියාව නිසාය.

අත්අඩංගුවට ගනු ලැබූ කොටි හිතවාදීන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඉන් එක්‌ අයකු පවසා ඇත්තේ ක්‌වාලාලම්පූර්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ප්‍රහාර එල්ල කිරීමට සැලසුමක්‌ තිබූ බවයි.

එසේම මැලේසියාවේ සිටින හිටපු කොටි හිතවාදීන්ට එක්‌සත් ජාතීන්ගේ අනාථයන් පිළිබඳ මහ කොමසාරිස්‌ කාර්යාලය විසින් අනාථයන් සඳහා වූ කාඩ්පත ලබාදී ඇත.

මෙහිදී නැඟෙන බරපතළ ප්‍රශ්නය නම් හිටපු කොටි ත්‍රස්‌තයන්ට එක්‌සත් ජාතීන්ගේ අනාථ කාඩ්පත හිමිවූයේ කෙසේද යන්නයි.

මේ හැර හිටපු කොටින්ට මැලේසියාවට යැමට වීසා බලපත් ලබාදී ඇත්තේ එරට සිටින කොටි හිතවාදීන්ගේ සහාය මත යෑයි අනාවරණය විය.

මැලේසියාවේ සිටින මේ හිටපු කොටි ක්‍රියාකාරීන් ගැන සෙවීමේ සියලු කටයුතු 2015 යහපාලන රජය බලයට පත්වීමත් සමගම නතර විය.

මෙරට බුද්ධි අංශ විසින් කොටි ජාත්‍යන්තර ජාලයේ ප්‍රධානි කේ. පී. අල්ලා ගනු ලැබුවේ ද මැලේසියාවේ සැඟවී සිටියදීය.

මැලේසියාව තුළ කොටි හිතවාදීන්ගේ බලගතු ජාලයක්‌ ක්‍රියාත්මක වන අතර ගත වූ වසර ගණනාව මුළුල්ලේම එම ජාලය ක්‍රියාත්මක විය.

එසේම මැලේසියා ත්‍රස්‌ත මර්දන පොලිසිය සිදුකළ විමර්ශනයේදී හෙළි වූයේ රාජ්‍ය නොවන සංවිධාන ජාලයක්‌ කොටි වෙනුවෙන් අරමුදල් එකතුකරන බවයි.

එක්‌ අයකුගෙන් ආර්. එම්. සියය බැගින් එකතුකර ඇතැයි ත්‍රස්‌ත මර්දන පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළි වී ඇත.

මැලේසියාව තුළ ඇති වී තිබෙන මේ අයහපත් තත්ත්වය මර්දනය කිරීමට හැකිවූයේ සොස්‌ටර් නමැති ත්‍රස්‌ත මර්දන පනත නිසාය. එම පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවකු දින 28 ක්‌ රඳවාගෙන ප්‍රශ්න කළ හැක.

එහෙත් මෙරට ද්‍රවිඩ සන්ධාන නායක සම්බන්ධන් ත්‍රස්‌ත මර්දන පනත අහෝසි කරන ලෙස ජනපතිවරණ අපේක්‍ෂකයන්ගෙන් ඉල්ලා ඇත.

මැලේසියාව තුළ ත්‍රස්‌ත අරගලයක්‌ නැතත් සොස්‌ටර් පනත ක්‍රියාත්මක වේ.

එහෙත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ත්‍රස්‌ත මර්දන පනත අහෝසි කරන ලෙසත් හිටපු කොටි මිනීමරුවන් නිදහස්‌ කරන ලෙසත් සම්බන්ධන් ඉල්ලන්නේ යළි කොටින්ට ජීවය ලබාදීමටද?

මැලේසියා බලධාරීන් පැවසුවේ ජී. සාමිනාදන් සහ පී. ගුණසේකරන් යන මැලේසියා මන්ත්‍රීවරුන් දෙදෙනා කොටි හිතවාදීන්ට සහාය වී ඇති බවයි.

අත්අඩංගුවට ගනු ලැබූ එක්‌ කොටි හිතවාදියකු 2016 වසරේදී ක්‌වාලාලම්පූර්හි ශ්‍රී ලංකා තානාපතිවරයාට පහරදීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන චූදිතයා විය.

ඔහුව සිරගෙට යවනු වෙනුවට අධිකරණය ආර්. එම්. 10,000 ක දඩයක්‌ නියම කළේය.

මේ හැර කොටි සමරු උත්සව මැලේසියාව තුළ ද පවත්වා ඇති බව වැඩිදුර පොලිස්‌ විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගනු ලැබූ පිරිස අතර කුලී රථ රියෑදුරෙක්‌, සුන්බුන් අලෙවි කරන ව්‍යාපාරිකයෙක්‌, අවන්හල් හිමියෙක්‌ සහ ? නිලධාරියකු සිටින බව ද හෙළිවිය.

මේ අතර මැලේසියාවේ විශාල පාම් තෙල් නිෂ්පාදන මධ්‍යස්‌ථායෙහි හිටපු කොටින්ට සැඟවී සිටීමේ ඉඩ ලැබී ඇත.

මෙයට කලකට පෙර අප මැලේසියාවට ගිය අවස්‌ථාවේ යුකුස්‌නා ප්‍රදේශයේ ද හිටපු කොටි සිටින බවට හෙළිවිය.

මැලේසියානු රජය කොටි සංවිධානය තහනම්කර ඇති නිසා එම රටේ සිටින කොටි අත්අඩංගුවට ගැනීමේ හැකියාව ඇත. එහෙත් අපේ රටේ සිදුවන්නේ ගුවන් යානාවලින් බෝම්බ දැමීමට වගකිවයුතු කොටි නායකයන් පවා නිදහස්‌ කිරීමය.

ගුෂාන්තන් මාස්‌ටර්ගේ සිද්ධිය ඊට නිදසුනකි. ඔහුගේ මවට ප්‍රංශයේ දේශපාලන රැකවරණ හිමි වී ඇත. ගුෂාන්තන්ගේ සොහොයුරා සිටින්නේ ද ප්‍රංශයේ පැරිස්‌ නුවරයි.

මෙම පසුබිම මැද 2009 මැයි 18 දා පරාජය වූ කොටි නැවත පැමිණීමේ දැඩි අවදානමක්‌ පවතී.

කොටි 13,000 ක්‌ පුනරුත්ථාපනය වූ බව කීවත් ඔවුන් අවි පුහුණුව ලැබූවන්ය. මෙම කොටි අතර මරාගෙන මැරෙන බෝම්බකරුවන් සහ බෝමබකාරිනියන් කීදෙනක්‌ සිටින්නේ ද යන්න රජය නොදනී.

2015 යහපාලන රජය බලයට පත්වීමත් සමඟම ජාතික ආරක්‍ෂාව ඇදවැටුණි. ආරක්‍ෂාව ගැන තීන්දු ගන්නේ එන්. ජී. ඕ. කාරයන්ය.

මේ වාතාවරණය මැද ද්‍රවිඩ සන්ධානයේ ඉල්ලීම් 13 කොටි ඩයස්‌පෝරාව පිළිගෙන ඇත.

එසේම කොටි ඩයස්‌පෝරාව උතුරට අරමුදල් සපයමින් උතුරේ තරුණයන්ට අවශ්‍ය යතුරුපැදි පවා ලබාදීමට ඩයස්‌පෝරා ක්‍රියාකාරීන් කටයුතු කර තිබේ.

මේ නිසා මැලේසියාවේදී කොටි නැවත නැගිටීමට සැලසුම් කිරීම ඉදිරි අනතුරක පෙරනිමිතිය.

මෙයට කලකට පෙර ස්‌විට්‌සර්ලන්තයේ සන්තෝෂම් මාස්‌ටර් උතුරේ කොටි කණ්‌ඩායමක්‌ මෙහෙයවනු ලැබීය. එම කොටි කණ්‌ඩායම මර්දනය කෙරුණි. එහෙත් කොටි අනතුර පහ වී නැත. කොටි බලා සිටින්නේ අවස්‌ථාව එනතුරුය. එහෙත් වත්මන් රජය අනතුර තේරුම් ගෙන නැත.

කීර්ති වර්ණකුලසූරිය – divaina 

17 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *