හම්බන්තොට වරාය

UNP , JVP , හවුල වසරකට ට්‍රිලියනයක් රටට අහිමිකළ චීන හම්බන්තොට වරාය video

රාජපක්ෂ හොරු සිදුකරන මහත් අපරාධයක් ලෙස පෙන්වා දුන් හම්බන්තොට වරාය ඉදිකිරීම පිලිබඳ ඇත්ත කතාව පිලිබඳ හිටපු වරාය සභාපති ප්‍රියත් බන්දු වික්‍රම මහතා සමඟ සිදුකළ කතාබහක දී එතුමන් ලංකාවට නොවටින චීනයට වටින හම්බන්තොට වරාය පිළිබද තොරතුරු මෙසේ ගෙනහැර දැක්වී ය.

ප්‍ර: ගොඩක් අය කිව්වා හම්බන්තොට වරාය හදන්න එපා කියලා, 2001 – 2002 කාලයේ කැනඩා කම්පැනියක් පවා කිව්වා ඕක හදන්න එපා කියලා.  එහෙම තියෙද්දී ඇයි මේක හැදුවේ?

පි: මට නම් එහෙම මතකයක් නැහැ මේක හදන්න එපා කිව්වා කියලා. හදන්න තමයි හැමෝම හැදුවේ.  ඔය කියන කැනඩා සමාගමත් පොඩි අධ්‍යයනයක් කරලා කිව්වා මේක කරන්න පුළුවන් ව්‍යාපෘතියක් හැබැයි මේක තවදුරටත් අධ්‍යයනය කරන්න ඕන කියලා. මේක ගොඩක් අයට කරන්න ඕන වෙලා තිබුණ ව්‍යාපෘතියක්. අපිත් මේක පරිසර අධ්‍යනයක් කරලා ශක්‍යතා අධ්‍යයනයක් කරලා කරපු හොඳ ව්‍යාපෘතියක්. මම දකින්නේ නැහැ ඒකෙ කිසි වැරැද්දක්.

ප්‍ර: අපි මහා ණය බරකින් ඉන්න වෙලාවක ණය වෙලා ඇයි මේ වගේ ව්‍යාපෘතියක් කලේ?

පි: දැන් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය රටේ කළා ඒ කලේ මිනිස්සු ඕකට විරුද්ධ වුනා නම් ණය වෙලා කරන්නේ කියලා ඒක හැදෙන්නේ නැහැ. ඒ ව්‍යාපෘතිය නිසා අද මිනිසුන්ට විදුලිය තියෙනවා වවන්න ජලය තියෙනවා. ඒ වගේ තමයි හම්බන්තොට වරාය කියන එකත්. වරාය වගේ ඒවා අපට දවසින් සල්ලි හම්බ කරන්න පුළුවන් ඒවා නොවෙයි.  අපි ඉන්දියන් සාගරයේ නාවික මාර්ගයක් ලඟ ඉදලා හිතනවා නම් අපි ළඟින් යන නැව් 300න් වැඩක් ගන්න බැහැ කියලා අපි ඉතින් අසාර්ථක ජාතියක්. අපේ යටත් විජිත මානසිකත්වය නිසා තමයි ඔය විදියට දුර්වල විදියට කල්පනා කරන්නේ.  මම හිතන්නේ නැහැ ණය අරගෙන ව්‍යාපෘති කරන එක වැරදිය කියලා. ණය අරගෙන ව්‍යාපෘති කරලා රට දියුණු කරන්න පුළුවන් නම් ඒ වත්කම අරගෙන ඒක ආදායම් ලබන්න යොදවන්න පුළුවන් නම් ඒ වගේ ව්‍යාපෘති හොඳයි.

ප්‍ර: දැන් ඔබ කියනවා ලගින් නැව් 300ක් යනවා කියලා ඒ වුනාට මම නම් අහලා තියෙන්නේ 2012 දී නැව් 34 ක් වත් ආවේ නැහැ කියලා. ඒක ඇත්තක් ද?

පි: වරායක් හැදුව දවසට පස්සේ දවසේ ඉදලා නැව් එන්නේ නැහැ. ඉන්දියාවේ වරායක් හැදුවා ඒ අලුතින් හදපු වරායට නැවක් ගෙන්න ගන්න අවුරුදු 2ක් ගියා. හැබැයි අපි වරාය හදපු අවුරුද්දේම නැව් 34 ක් ගෙනාවා. ඒක ඇත්ත. හැබැයි 2014 වනවිට දවසට එක නැවක් එන ගානට ඒක වර්ධනය වෙලා තිබුණා. මේ ආණ්ඩුව එම ව්‍යාපෘතිය නවත්වන්නේ නැතිව හරියට කරගෙන ගියානම් හම්බන්තොට වරාය අද දවසට නැව් 5ක් 6ක් එන වරායක් බවට පත්වෙනවා.

ප්‍ර: රාජපක්ෂලා ඒ කාලේ ණය ගත්තා අරගෙන හැදුවා ඊට පස්සේ ඒ අය ඒ වරාය චීන කම්පැනියට දුන්නා  රාජපක්ෂලා ගෙදර ගියාට පස්සේ  චීනය කොන්දේසි වැඩියෙන් දැම්මා. එවිට ණය ගෙවා ගන්න බැරි වුණා. ඊට පස්සේ තමයි ඒක වික්කේ කියලා කථාවක් තියෙනවා. ඒ ගැන ඔබ මොකද කියන්නේ?

පි: තනිතර බොරු කථාවක්. ඇත්තටම එහෙම දෙයක් වුනේ නැහැ. අපි ගත්ත ණය අපි හොඳට ගෙවාගෙන ආවා. වරාය අධිකාරිය කියන්නේ හොඳට සල්ලි හම්බකරන ආයතනයක්. මේ රටේ ජනතාවගේ සල්ලි වලින් වරාය අධිකාරියේ ණය ගෙව්වේ නැහැ. වරාය අධිකාරියේ වියදම් වලට රජයේ සතයක් අරගෙනත් නැහැ. මේ ව්‍යාපෘතිය හැදුවට පස්සේ වරාය අධිකාරිය ආදායම් ලබලා එම ආදායමින් ණය ගෙවාගෙන ගියා. 2009 වනවිට වරාය පාඩු ලබනවා. අවුරුද්දට බිලියන 1.5 ක්. හැබැයි අපි 2014 වන විට බිලියන 9ක් ලාබ ලබනවා. එතකොට අපි ව්‍යාපෘතිත් කරලා ඔය කියන විදියට ණයත් අරගෙන ණය ටික ගෙවාගන්න බැරි තැනට වැටිලා හිටියා නම් වරාය අධිකාරිය පාඩු ලබන්න එපැයි. විගණකාධිපතිගේ වාර්ථාවේ ඒක පේන්න තියෙන්න එපැයි.  2015 ආණ්ඩුව වෙනස්වුනාට පසු නිකුත් වුන වරාය අධිකාරියේ 2014 අය වැය වාර්තාව හොයා ගෙන බැලුවා නම් ඔයාට තේරුම් ගන්න පුළුවන් අපි පාඩු ලැබුවද නැද්ද කියලා. අපි ලාභ ලැබුවා. ණය ගෙව්වා. ඒ විතරක් නොවෙයි ගත්ත මුදලින් ඩොලර් මිලියන 500 ට වඩා ගෙව්වා. කවුරුත් ඕවා දන්නේ නැහැ. කථා කරන්නේ නැහැ.

ප්‍ර:  මේ රජය හමබන්තොට වරාය 99 අවුරුදු බද්දට දීලා තව ඉඩම් අක්කර 15000 කුත් දෙනවා. ඇයි එහෙම කරන්නේ?

පි: අපිටත් තියෙන ගැටලුව ඒකයි. සාමාන්‍යයෙන් රටක වැදගත් සම්පත් කවුරුවත් විකුණන්නේ නැහැ. ඒවා රටක ඉස්සරටහ වැදගත් වන දේවල්. මේ ගොල්ලෝ මේක විකුණපු විදිය වැරදයි. මේක ඇත්තටම නොවිය යුතු දෙයක්. විකුණන්න ඕන නැති සම්පතක් තමයි මේ විකුණලා තියෙන්නේ. වරායක් එහෙම පිටින්ම විකුණනවා කියන්නේ අන්තිම අසාධාරණ දෙයක්. දැන් නාවික හමුදාවේ නැව් ගියත් සල්ලි ගෙවන්න ඕන. එහෙම ගිවිසුමක් තමයි මේ අය ගහලා තියෙන්නේ. වරාය ඇතුලේම ඉඩම් අක්කර 5000 ක් තිබුණා. දූපතක් හදලා තිබුණා. මේවා ඔක්කොම නිකන් දීලා තියෙන්නේ. ඒවායෙන් ලැබෙන්න තියනෙ ආදායම අපිට නැතිවෙලා තියෙනවා.

වරාය මිලදී ගන්න සමාගම් දෙකක් යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. එක සමාගමක් අවුරුදු 40 කට ඉල්ලලා තිබුණා. තව සමාගමක් අවුරුදු 99 කට ඉල්ලලා තිබුණා. අවුරුදු 40 ට ඉල්ලපු කට්ටිය ඒ සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 3200  ක් විතර ගෙවන්න කැමැති වෙලා තියෙනවා. අවුරුදු 99 ට ඉල්ලපු කට්ටිය අවුරුදු 99 ටම ඩොලර් මිලියන 1800 ක් විතර තමයි ගෙවන්න කැමති වෙලා තියෙන්නේ. වරාය අධිකාරිය නිර්දේෂ කලා අවුරුදු 40 ට ඉල්ලපු අයට දෙන එක හොඳයි කියලා.  නමුත් මේ රජය එහෙම කරන්නේ නැතිව අඩු ලංසුව ඉදිරිපත් කරපු සමාගමට මේ වරාය දුන්නා. ඒ සමාගම මේ සල්ලි ගෙව්වෙත් වර්ජින් අයිලන්ඩ් වල තියෙන කොම්පැණියක් පාවිච්චි කරලා. ඒ ගණුදෙනුව ජෙනුයින් නැහැ. (විනිවිද භාවයක් නැහැ) (යටින් මොනවා හරි මගඩියක් ගිහින් තියෙනවා.) ඒක තමයි වෙලා තියෙන්නේ.

ප්‍ර: හම්බන්තොටම මේ වරාය හැදුවේ රජපක්ෂලාගේ ගම නිසාද?

පි: අපේ ඉතිහාසයට අනුවම හම්බන්තොට කියන්නේ වරාය හැදෙන්නම ඕන තැන. හම්බන්තොට තියෙනවා ගොඩවාය කියලා තැනක්. ඒ කාලේ, දැනට අවුරුදු 1000 කට වගේ කලින්  ගොඩවාය කියන තැන තිබුණ වරාය, ලෝකයේ තිබුන කාර්යක්ෂම වරයාක්. අපි අපේ වරාය හැදුවේ ලෝකයේ කර්යක්ෂම වරායක් තිබුණ තැනක.

ප්‍ර: 2015 කාලයේ රනිල් වික්‍රමසිංහ මහතා කිව්වා ඔය වරායේ ගලක් තියෙනවා ඒ නිසා නැව්වලට එන්න බැහැ කියලා. අනුර කුමාර දිසානායක මහතා එහෙම ඔය කථාව දිගින් දිගටම කිව්වා.

පි: ඔය කියන ගල තිබුණා නම් ඔය වරාය මිල දී ගත්ත චීන සමාගම කොහොමද දැන් නැව් වරායට ගේන්නේ.  දොඹකරයකින් උස්සලා නැව් ගලෙන් එහා පැත්තේ තියනවාද?

මේ ඉඩම් ටික දීපු නිසා වාර්ෂිකව රටට අහිමි වන මුදල රුපියල් ට්‍රිලියනයක් (රුපියල් බිලියන 1000 ක්) අපේ රටේ වසරක බදු ආදායමත් රුපියල් ට්‍රිලියනක්.  නමුත් මෙම හමබන්තොට වරායටම ගිහිල්ලා තියෙන්නේ රුපියල් බිලියන 140 යි. ඔය කියන සුදු අලියා හදන්න ගියේ රුපියල් බිලියන 140 යි. ඒ කාලේ කරපු සියලු ව්‍යාපෘති ගත්තත් රුපියල් බිලියන 500 ක් ගියේ නැහැ.  මෙහෙම බැලුවාම මේ ගිවිසුමෙන් අපිට කිසිම වාසියක් නැහැ.

ප්‍ර: කොළඹ වරාය තියෙද්දී ඒක හදන්නේ නැතිව ඇයි හම්බන්තොට යන්නේ?

පි: ලෝකයේ හැම රටකම වගේ ප්‍රධාන නගරයේ තිබුණ වරාය ක්‍රමානුකූලව නගරයෙන් එළියට අරන් ගිහින් තියෙනවා. ඒ ඇයි? ප්‍රධාන නගරයේ තිබෙන තදබදයත් සමග වරායක් පුළුල් කරන්න බැහැ. වරායක් පුළුල් කරන කොට විශාල ඉඩක් ඕන. මේ බස් නැවතුම් පලක්, සාප්පු සංකීර්ණයක් හදනවා වගේ නෙමෙයි වරායක් හදනවා කියන්නේ. වරායකට අක්කර 2000, 3000ක් 4000ක් ඕන වෙනවා. මේ වගේ විශාල භුමියක් ප්‍රධාන නගරයක අර ගත්තාම නගරයට ඉඩ නැහැ.  අපි කොළඹ වරායත් පුළුල් කරා හැබැයි මෙතනනි එහාට කොළඹ වරාය පුළුල් කරන්න තැනක් නැහැ. සිංගප්පූරුව කියන්නේ අපට වඩා ගොඩාක් කුඩා අල්පෙන්ති තුඩක් වගේ රටක් ඒ ගොල්ලෝ තමන්ගේ තිබුණ වරාය එතනින් ගලවලා ඊට වඩා පස් හය ගුණයක් තියෙන වරායක් වෙන තැනක හදනවා.

 

35 Comments

  1. Hello mates, how is all, and what you want to say
    on the topic of this piece of writing, in my view its really
    remarkable for me.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *