LK reports news sinhala

සටන උණුසුම් වෙද්දී තුරුම්පු සියල්ල එළියට එයි

ශ්‍රී ලංකාවේ බිම් මට්ටමේ සිටින වැඩිම සාමාජිකයන් මෙන්ම ඉතිහාසයේ වැඩිම ජයග්‍රහණ ලබාගත් එමෙන්ම දැවැන්ත ඡන්ද පදනමක් සහිත එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් කරන තුරු මෙරට එජාප ඡන්ද දායකයින් මෙන්ම අනෙකුත් පක්ෂද පුල පුලා බලා සිටියේ නොඉවසිල්ලෙනි.

ඊට අද(25) පිළිතුරු ලැබිණි. ඒ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කැමැත්තෙන් ජනපති අපේක්ෂකත්වය බලාපෙරොත්තුවෙන් ජන රැලි තබමින් ඇතැම්විට තර්ජන ගර්ජන කරමින් නියත අපේක්ෂකයා ලෙසින් කටයුතු කළ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාය. මලික් සමරවික්‍රම, මංගල සමරවීර යන අතිශය රනිල් හිතවාදී ඇමැතිවරුන් සජිත්ගේ සහායට ඔහුට ළංවන විටම විපක්ෂය චෝදනා කළේ මෙය ගේම් ප්ලෑන් එකක් බවය. එය එසේම වූවාට සැක නැත. මක් නිසාද යත් සජිත් ජනපති අපේක්ෂකයා වනවාට අගමැති රනිල් වික්‍රමසිංහ අකමැති වූයේ නැත. ඔහු එය පිටතට නොපෙන්වා සඟවාගෙන සිටියේ මෙම අපූරු සැලසුමක කොටසක් ලෙසිනි. ඒ අනුව ඔහු බිය වූයේ සජිත් අපේක්ෂකයා වනවාට නොව ජනපති වනවාටය. මෙවර රනිල් වික්‍රමසිංහ නම් ඉතිහාසයේ වැඩිම වාර ගණනක් විපක්ෂ නායක ධූරයේ කටයුතු කළ එජාප නායකයාට සජිත්ගේ පරාජයෙන් පසු තම මතය ඉස්මතු කිරීමේ අවස්ථාව විවර කරගත හැකිය. ඒ සඳහා ඔහු අගනා සැලසුමක් ක්‍රියාත්මක කළේය. මේ එහි කූඨප්‍රාප්තිමය අවස්ථාවයි.

සජිත් ප්‍රේමදාස කණ්ඩායම රනිල් සිය මැතිවරණ වේදිකාවටද වැද්දගන්නා අයුරක් පෙනෙන්නට නැත. එබැවින් රනිල් වික්‍රමසිංහ නිහඬව සජිත්ගේ මැතිවරණ සටන දෙස බලාසිටිනු නොඅනුමානය. මක් නිසාද යත් පවතින ආණ්ඩුවක් මේ තරම් ජනතාවට අප්‍රසන්න, අකමැති හා විරෝධයට පාත්‍රවූ අවස්ථාවක් ඉතිහාසයේ නොමැති තරම් නිසාය. එහි හොඳම පිළිබිඹුව පසුගිය වසරේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී දැකගත හැකි විය. මෙරට ඉතිහාසයේ පළමු වරට බලයේ සිටින ආණ්ඩුවක් පළාත් පාලන මැතිවරණයක් අතිශය දැවැන්ත ලෙස පරාජයට පත්විය.

අගමැතිවරයා හොඳින්ම දන්නා අනෙක් කරුණ නම් තම විරුද්ධවාදියා හොඳ සටන්කාමියකු බවයි. එමෙන්ම ඔහු සටනට අවැසි සියල්ල සූදානම් කරගෙන ඇති බවද ඔහු දනී. මෙවැනි අවස්ථාවක ඔහු සමග තරග කර පරාජය වී පක්ෂ නායකත්වයද නැති කරගන්නවාට වඩා පළමුව ආරක්ෂාව යන සිද්ධාන්තය ක්‍රියාත්මක කරමින් ඔහු පක්ෂ අභ්‍යන්තරයේ නැගී එන සජිත් කැරැල්ලද ජයගනිමින් ඔහුටම අපේක්ෂකත්වය ලබාදීමට කටයුතු කළේය. එය දේශපාලනික වශයෙන් පරිණත අගමැතිවරයාගේ උපක්‍රමයකි. සජිත් මෙවර පරාජයට පත්වූවහොත් ඊළඟ අවස්ථාවක් කිසිසේත් ලැබෙන්නේ නැත. ඒ අනුව සජිත්ට රනිල් හා සටනින් නියත පරාජයක් හිමිවනු ඇත. රනිල් වික්‍රමසිංහ ක්‍රියාත්මක කරනුයේ මේ න්‍යාය බව මැදහත් දේශපාලන විචාරකයෝ පෙර තියාම දැනගෙන සිටි බවට ඉඟි පළවිය. මේ එහි කරළියට පැමිණෙන අවස්ථාවයි. අගමැතිවරයා කිසිසේත් සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු නොකරනු ඇත. ඊට අනෙක් අයට අවස්ථාව දී ඔහු සජිත්ගේ පරාජයට පාර කපන්නේ කෙසේදැයි සිය දේශපාලනික විචක්ෂණශීලී නුවණ මෙහෙයවා කල්පනා කරනු ඇත. ඊට දැනටමත් කොළ එළි එල්ලවෙමින් පවතී. ඒ දෙමළ ජාතික සන්ධානය උතුරේ දෙමළ ඡන්ද වර්ජනයකට සැරසෙන බවට ලැබෙන ආරංචි අනුවය.

රනිල් හා දෙමළ ජාතික සන්ධානය අතර ඇති මිත්‍රත්වය ලෙහෙසි පහසු එකක් නොවේය. සිය අගමැති ධූරය මෙන්ම පක්ෂයද ආණ්ඩුවද රැකගැනීමට අවස්ථා රැසකදී සහාය දුන්නේ දෙමළ ජාතික සන්ධානයයි. ඒ අනුව ඔවුන්ගේ ඉල්ලීම් ඉටු කිරිමටද අගමැතිවරයා නොපැකිළිවම ඉදිරිපත් විය. ඊට හොඳම උදාහර‍ණය පසුගියදා මුලතිව් ගුරුකන්ද රජමහා විහාරාධිපති හිමියන්ගේ ආදාහන උත්සවයට දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන්ගේ උසිගැන්වීම මත අන්තවාදී පිරිසක් අකුල් හෙළූ ආකාරයයි. එයට කිසිවිටක ආණ්ඩුව මැදිහත් නොවීය. එය වැඩෙන්නට හැර අන්තවාදීන් අවශ්‍ය තීන්දු තීරණ සඳහා පාර කපා දුන්නේය. මේ අනුව දෙමළ සන්ධානය රනිල්ගේ කීමට පිටින් යාමට කැමැත්තක් නොදක්වනු ඇත. ඒ අනුව සජිත් ප්‍රේමදාස ගේ පරාජයට තවත් සාධක අගමැතිවරයා සපයනු ඇත.

මේ අතර විපක්ෂයේ ප්‍රධානම අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂට ඇති ජනප්‍රසාදය සහ ඔහුගේ හැකියාවන් රනිල් වික්‍රමසිංහ හොඳින්ම දනී. විපක්ෂයේ තවත් චරිතයක් වන අනුර කුමාර දිසානායක තනිවම සටනට ආවේය. ඒ අනුව සටන දෙස බලා හිතින් සිනාසීමට අගමැතිවරයාට හැකිවනු ඇත. මේ දේශපාලනික සෙල්ලම්ය. ඇතැම් ඒවා රුදු මෙන්ම කිසිසේත් නොපැතූ දේවල් විය හැකිය. නොසිතූ දේවල් විය හැකිය. මේ සියල්ල අතරේ උණුසුම්වන ජනපතිවරණ සටන දෙස ශ්‍රී ලාංකිකයන්ට මැදිහත් ලෙස බලමින් සිතීමට සිදුවනුයේ ලාංකික දේශපාලනය පිළිබඳ කිසිදා තේරුම් ගත නොහැකි උභතෝකෝටිකය විසඳාගැනීමට නොව සිය මවුබිම වෙනුවෙන් හෝ තමන් වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ අවසන් අවිය භාවිත කිරීමට ක්‍රමයක් පමණි.

1 Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *