LK reports news sinhala

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවන් අලුත්වෙයි – ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස මිකී ආතර් සහ පන්දු රැකීමේ පුහුණුකරු ක්‍රෙග් මැක්ඩමට් එළැඹෙන පාකිස්තාන සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිතය. පාකිස්තාන් සංචාරයෙන් පසුව ශ‍්‍රී ලංකා කණ්ඩායමට පිතිකරණ පුහුණුකරුවකු සහ වේග පන්දු පුහුණකරුවකු අලූතින් එක්වීමට නියමිතය.
ඒ අනූව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නව වේග පන්දු පුහුණුකරු වශයෙන් හිටපු ඔස්ටේ‍්‍රලියානු සහ එංගලන්ත ජාතික කණ්ඩායම්වල වේග පන්දු පුහුණුකරුවකු වශයෙන් කටයුතු කළ ඩේවිඩ් ෂකර් තෝරාගෙන ඇති අතර පිතිකරණ පුහුණුකරු වශයෙන් හිටපු සිම්බාබ්වේ ක‍්‍රිකට් නායකයකු වන ග‍්‍රාන්ඩ් ෆ්ලවර් තෝරාගෙන තිබේ. ඔවුන් දෙදෙනාම එළැඹෙන පාකිස්තාන් සංචාරයෙන් පසුව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ රාජකාරි ආරම්භ කිරීමට නියමිතව තිබේ.

වත්මන් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු වශයෙන් කටයුතු කරන රොමේෂ් රත්නායක මහතා ශ‍්‍රී ල‘කා ක‍්‍රිකට් පුහුණු ඒකකයේ වේග පන්දු පුහුණුකරු වශයෙන් පත්කිරීමට නියමිත අතර පාකිස්තාන් සංචාරයේදීත් ඔහු ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග කටයුතු කරනු ඇත.

දකුණු අප්‍රිකානු ජාතික මිකී ආතර් ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ලබන මස 4 වැනිදා වැඩ භාර ගැනීමට නියමිතය. මිකී ආතර් අවසන් වරට පුහුණුකරු ලෙස කටයුතු කළ පාකිස්තාන පිලට එරෙහිව ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස මුලින්ම කටයුතු කිරීම විශේෂත්වයකි. ශ්‍රී ලංකා ක්‍රිකට් සමග වසර දෙකක කොන්ත්‍රාත් කාලයක් සඳහා ගිවිසුම් අස්සන් කළ 51 හැවිරිදි මිකී ආතර් දකුණු අප්‍රිකාවේ පළමු පෙළ තරග 110 කට ක්‍රීඩාකර ඇත. ඔහු මෙයට පෙර ඔස්ට්‍රේලියා හා දකුණු අප්‍රිකා කණ්ඩායම්වල ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර ඇත.

මිකී ආතර් 2016 වසරේ පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වූ අතර ඔහුගේ මඟ පෙන්වීම යටතේ පාකිස්තානය අංක එකේ ටෙස්ට් හා විස්සයි 20 කණ්ඩායම බවට පත්විය. අයි. සී. සී චැම්පියන්ස් කුසලානය පාකිස්තානය දිනා ගැනීම ඔහුගේ පුහුණුව යටතේ සිදුවිය. ලෝක කුසලාන තරගාවලියේදී පාකිස්තාන පිලේ පසුබැසීමත් සමග පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය ආතර්ගේ කොන්ත්‍රාත්තුව අලුත් නොකිරීමට තීරණය කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ ගේ සේවය ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවීමෙන් අනතුරුව වැඩබලන පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා යටතේ ශ්‍රී ලංකා පිල සංචාර කීපයකට සහභාගි විය.

නව වේගපන්දු පුහුණුකරු වන 53 හැවිරිදි ඩේවිඩ් ෂකර් ඔස්ටේ‍්‍රලියානු ජාතිකයකු වන අතර ඔහු පළමු පෙළ ක‍්‍රිකට් තරග 72 කදී කඩුලූ 247 ක් දවාගෙන තිබේ. ෂකර් සිය පළමු පෙළ ක‍්‍රිකට් දිවිය නිමා කිරීමෙන් පසුව 2004 වසරේදී වික්ටෝරියා කණ්ඩායමේ සහය පුහුණුකරු වශයෙන් කටයුතු කර තිබේ. අනතුරුව 2010 වසරේ සිට 2015 දක්වා කාලයේදී ඔහු එංගලන්ත පිලේ වේග පන්දු පුහුණුකරු වශයෙන් කටයුතු කර ඇත.

එංගලන්ත පුහුණුකරු ධුරයෙන් පසුව ඩේවිඞ් ෂකර් මෙල්බන් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කළ අතර අනතුරුව 2016 වසරේ සිට ඔස්ටේ‍්‍රලියානු ජාතික කණ්ඩායමේ පුහුණුකරු වශයෙන්ද කටයුතු කර ඇත.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු වශයෙන් තෝරාගෙන ඇති සිම්බාබ්වේ හිටපු ක‍්‍රිකට් නායකයකු වන ග‍්‍රාන්ට් ෆ්ලවර් මේ වන විට 48 වැනි වියේ පසුවන අතර ඔහු සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 67 කදී ශතක 6ක් සහ අර්ධ ශතක 15 ක් සමග ලකුණු 3,457 ක්ද එක්දින තරග 221 කදී ශතක 6ක් සහ අර්ධ ශතක 40 ක් සමග ලකුණු 6,571 ක්ද ලබාගෙන තිබේ. 2014 වසරේදී ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් විශ‍්‍රාම ගැනීමෙන් පසුව ග‍්‍රාන්ඞ් ෆ්ලවර් 2014 වසරේදීම පාකිස්තාන් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු වශයෙන්ද කටයුතු කර තිබේ.

මේ අතර ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නව පන්දු රැකීමේ පුහුණුකරු වශයෙන් ඔස්ටේ‍්‍රලියානු ජාතික ක්‍රෙග් මැක්ඩොමට් එළැඹෙන පාකිස්තාන් සංචාරයේ සිට කටයුතු කරනු ඇතැයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි. මැක්ඩොමට් ඔස්ටේ‍්‍රලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 71 කට සහ එක්දින තරග 138 කට ක‍්‍රීඩා කර ඇති අතර ඔහු ඔස්ටේ‍්‍රලියානු සහ අයර්ලන්ත කණ්ඩායම්වල පුහුණුකරු වශයෙන්ද කටයුතු කර තිබේ.

17 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *