ලෝක කුසලානයට පසුවදනක්

පුරා මාස එක හමාරකට ආසන්න කාලයක් පැවැති 12වැනි ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය පසුගිය 14වැනිදා ‍එංගලන්තයේ ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී නිමාවට පත්වූයේ ප්‍රේක්ෂකයින්ට අමතක නොවන තරගයක මතක සටහන් සනිටුහන් කරමිනි.

එදා මෙදාතුර ලෝක කුසලාන එක්දින තරගාවලියක ‍අවසන් තරගයක තබා කිසිදු එක්දින තරගයක නොවූ ආකාරයේ අවසානයක් සනිටුහන් කරමින් එංගලන්තය සහ නවසීලන්තය අතර පැවැති අවසන් මහා තරගයේ ජය තීන්දු කිරීමට සිදුවූයේ වැඩිම හයේ සහ හතරේ පහර සංඛ්‍යාව එල්ල කළ කණ්ඩායම අනුවය. ඒ අවසන් මහා තරගයේ පන්දුවාර 50 තුළ දෙපිළම සම ලකුණු ලැබීමත් ඉන් අනතුරුව පැවැති සුපිරි පන්දුවාරයේදී ද දෙපිළම සම ලකුණු ලැබීමත් නිසාය.

මෙවර අවසන් මහා තරගය තවත් සුවිශේෂී එකක් වූයේ කිසිදු වරෙක ලෝක කුසලානය දිනා නොතිබූ එංගලන්ත හා නවසීලන්ත කණ්ඩායම් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා තිබූ බැවිනි. අවාසනාව හරහට නොසිටින්නට සැබෑ ජයග්‍රාහකයින් නවසීලන්තය බවට ක්‍රිකට් විචාරකයෝ සඳහන් කරති. ඒ අවසන් තරගයේදී ඇතැම් විනිසුරු තීන්දු මෙන්ම පන්දු රැකීමේදී නවසීලන්ත කණ්ඩායමට අවාසනාව හරහට සිටි බැවිනි. කෙසේ වෙතත් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ විනය එහි නායකයාගේ සුවිශේෂී නායකත්වය මෙන්ම ක්‍රීඩාවේ ජීවගුණයට ඔවුන්ගේ ධනාත්මක බලපෑම සම්බන්ධයෙන් ලොව පුරා කථාබහ ඇතිවිය. විශේෂයෙන්ම එංගලන්ත කණ්ඩායමට ලෝක කුසලානය ලබාගැනීම වෙනුවෙන් කැපවූ සුවිශේෂී ක්‍රීඩකයින් වන බෙන් ස්ටොක්, ජෙෆ්ර ආචර්, ආදිල් රෂීඩ් හා ජේසන් රෝයි වැන්නන් වෙනත් රටවල ක්‍රීඩකයින් වීමත් අවසන් තරගයේදී නවසීලන්තයට පරාජය අත්කර දෙමින් සුවිශේෂී ඉනිමක නිරතවූ බෙන් ස්ටොක් නවසීලන්ත ජාතිකයකු වීමත් ලොව පුරා කථාබහට ලක්විය. බෙන් ස්ටොක්ගේ පියා සහ මව තවමත් ජීවත්වන්නේ නවසීලන්තයේ වන අතර ඔහුගේ පියා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබුණේ මේ ‍මොහොතේ නවසීලන්ත ජාතිකයින්ගේ වැඩිම වෛරයට පාත්‍රවූ පුද්ගලයා තමා බවයි. සුපිරි පන්දුවාරය ක්‍රියාත්මක කරමින් එංගලන්තයට ජය ගෙන ආ ජෙෆ්ර ආචර් බාබඩෝස් හි උපත ලද ක්‍රීඩකයෙකි. එංගලන්තය සිය සංක්‍රමණ නීති පවා වෙනස්කරමින් ඔහු සිය කණ්ඩායමට එක්කරගෙන තිබූ බවට ක්‍රිකට් ලොව කථාබහක් ඇතිවිය.

ගෙවීගිය ලෝක කුසලානය සම්බන්ධයෙන් විමසා බැලීමේදී එංගලන්තය හා නවසීලන්තයට අමතරව ඕස්ට්‍රේලියාව සහ ඉන්දීය කණ්ඩායම්වල දක්ෂතා කැපී පෙනිණි. එමෙන්ම අවසන් පූර්ව වටයට පැමිණීමට නොහැකිවූ පාකිස්ථානය, බංග්ලාදේශය යන කණ්ඩායම්වලද දක්ෂතා ඉහළ මට්ටමක තිබූ අතර ශ්‍රී ලංකාව ලෝක කුසලානයට සහභාගී වූයේ නව නායකයකු සමග එතරම් විශ්වසනීය තත්ත්වයකින් නොවේ. නමුත් ඔවුන් තරගාවලිය අවසන් කළේ හයවැනි ස්ථානය ලබමින්ය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හා තේරීම් කමිටුවට එය ඉහළ දක්ෂතාවයක් ලෙස පෙනුනද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර තිබූ වාර්තාවකින් කියවුණේද කණ්ඩායමේ දක්ෂතා එතරම් ඉහළ මට්ටමක නොතිබූ බවයි. මෙවර ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙස ඉන්දියාවේ රෝහිත් ශර්මා ඉදිරියෙන්ම සිටි අතර ඔහු තරගාවලිය පුරා ලකුණු 648ක් රැ‍ස් කළේය. එයට ශතක 5ක් ද අන්තර්ගතවූ අතර එය ලෝක කුසලාන තරගාවලියක ක්‍රීඩකයකු ලැබූ වැඩිම ශතක සංඛ්‍යාව ලෙසද වාර්තා පොත් අතරට එක්විය. ඉන්දීය කණ්ඩායම සම්බන්ධයෙන් එසේ දක්ෂතා වාර්තා පොත් අතරට යද්දී වැඩිම ලකුණු ලාභීන්ගේ ලේඛනයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයකු‍ සිටින්නේ 26වැනි ස්ථානයේ ය. ඒ ලකුණු 273ක් ලැබූ කුසල් ජනිත් පෙරේරාය. ඒ අනුව ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දක්ෂතා කිරා මැන බලාගත හැකිය.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වූයේ ඕස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටාර්ක්ය. ඔහු තරගාවලි‍ය පුරා කඩුලු 27ක් බිඳ හෙළද්දී ශ්‍රී ලංකා පන්දු යවන්නකු එම ලේඛනයේ සිටින්නේ 17වැනි ස්ථානයේ ය. ඒ කඩුලු 13ක් බිඳ හෙළමිනි. ලෝක කුසලාන තරගාවලියේ කැපී පෙනුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතර නවක ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දුගේ දක්ෂතා බොහෝ විචාරකයින් අතර කථාබහට ලක්වූ නමුත් ඔහුට මුල් තරගවලදී අවස්ථාවක් දීමට හෝ තේරීම් කමිටුව ක්‍රියා නොකළේය. අවිශ්ක ප්‍රනාන්දුට අමතරව සාර්ථකවූ එකම ශ්‍රී ලංකා පිතිකරුවා වූයේ ඇන්ජලෝ මැතිව්ස් පමණි. කුසල් ජනිත් පෙරේරා යම් පමණක දක්ෂතා අතරට පැමිණි නමුත් අනෙකුත් කිසිදු පිතිකරුවකු ශ්‍රී ලංකා කණ්ඩායමට සැලකිය යුතු දායකත්වයක් නොදැක්වීය. පන්දු යවන්නන් අතර ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ලසිත් මාලිංග හැරුණු කොට අනෙක් කිසිදු පන්දු යවන්නකු දක්ෂතා අතරට පැමිණියේ නැත.

ලෝක කුසලාන තරගාවලියේ කැපී පෙනුණු සිදුවීම් අතර බංග්ලාදේශයේ ශකිබ් අල් හසන්ගේ තරගකාරීත්වය, ඉන්දීය පන්දු යවන්නන් වන ජස්ප්‍රිට් බුම්රාගේ හා මෙහොමඩ් සාමිගේ දක්ෂතා, නවසීලන්ත නායක කේන් විලියම්සන්ගේ පිතිකරණය හා නායකත්වය, බටහිර ඉන්දීය කොදෙව් නවක ක්‍රීඩක නිකලස් පූරන්ගේ සාර්ථකත්වය, එංගලන්ත පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි ආචර්ගේ දක්ෂතා, පකිස්ථානයේ නව සොයාගැනීමක් වන ෂහීන් අෆ්රිඩිගේ පන්දු යැවීමේ දක්ෂතා, එංගලන්ත ආරම්භක පිතිකරු ජේසන් රෝයිගේ සාර්ථකත්වය, ඕස්ට්‍රේලියා ආරම්භක පිතිකරු යුගලය වන ආරොන් ෆින්ච් හා ඩේවිඩ් වෝනර්ගේ දක්ෂතා මෙන්ම නැගී එන ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ දක්ෂතා ද සුවිශේෂී විය. විශේෂයෙන්ම ඇෆ්ගනිස්ථානුවන් සියලු තරග පරාජය වුවද ප්‍රබල ඉන්දීය හා පාකිස්ථාන කණ්ඩායම් හමුවේ අවසන් මොහොත දක්වාම තරග කළ ආකාරයේ සුවිශේෂතා ක්‍රිකට් විචාරකයින්ගේ පැසසීමට ලක්විය.

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී බලාපොරොත්තු තබා සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායමේ විශ්වාස කළ නොහැකි පරාජයන් හේතුවෙන් මූලික වටයෙන්ම ඔවුන් එළියට විසිවීම කාගෙත් කථාබහට ලක්වූ අතර ඔවුන් තරගාවලියේ ක්‍රීඩා කළ තරග 8න් ජයගෙන තිබුණේ තරග 3ක් පමණි. එමෙන්ම බංග්ලාදේශ කණ්ඩායම තරගාවලියට අවතීර්ණවූ ආකාරය විචාරකයින්ගේ පැසසුමට ලක්ව තිබූ අතර ඔවුන් පරාජයවූ තරගවලදීද දැඩි තරගයක් ලබාදුන් අයුරු දැකගත හැකිවිය. කෙසේ වෙතත් මෙවර ලෝක කුසලානයේදී මූලික වටයේ තරගවලට වර්ෂාව බලපෑම් කළ ආකාරය සම්බන්ධයෙන් කාගේත් අවධානය යොමුවූ අතර වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට තරග ‍ද්විත්වයක්ම අහිමි විය.

සමස්ථයක් වශයෙන් මෙවර ලෝක කුසලානයේ මූලික වටයේ මුල් තරගවලදී ලකුණු 300 ඉක්මවා යමින් පිතිකරුවන්ගේ පාරාදීසයක් වැනි පිටිවල තරග පැවැත්වුණු නමුත් තරගාවලිය අවසන් වනවිට පන්දු යවන්නන්ගේ දක්ෂතා නිසා තරග ජයග්‍රහණය කරන ආකාරය වැඩි වශයෙන් දක්නට ලැබිණි. අවසන් පූර්ව වටයට පවා සුදුසුකම් ලබමින් දක්ෂතා දැක්වූ ඉන්දීය කණ්ඩායම එක් පරාජයකින් පසුව වුවද පුහුණුකරුවන් වෙනස්කරමින් කණ්ඩායමට වැදගත් වෙනස්කම් කරමින් ඉදිරි අනාගතය වෙනුවෙන් සූදානම් වන අයුරු දැකගත හැකිවුවද ශ්‍රී ලංකා කණ්ඩායම හා ක්‍රිකට් බලධාරීන් තවමත් අඳුරේ අතපතගාමින් සිටිනවා හැර අනාගතය වෙනුවෙන් සැලසුම් සකස්කරන අයුරක් දැකගැනීමට හැකියාව නැත. වි‍ශේෂයෙන්ම එක්තරා ක්‍රීඩකයින් පිරිසක් වෙනුවෙන් පමණක් දිගින් දිගටම අවස්ථා ලබාදෙමින් ඔවුන් දක්ෂතා නොදැක්වුවද ඒවා සාධාරණීකරණය කරමින් මාධ්‍ය ඉදිරියේ පාරම් බෑම හැර ලොව වැඩිම මුදලක් ලබාදෙන පුහුණුකරුවන් පවා ගෙන්වා ගෙන ඔවුන්ගෙන් වැටුපට සරිලන මෙහෙයක් සිදුවනවාදැයි හෝ විමසිලිමත් නොවීම ශ්‍රී ලංකා ක්‍රිකට් තවත් අගාධයට ඇද දැමීමක් පමණක්ම වනු ඇත.

(මූලාශ්‍ර – www.icccricketworldcup.com වෙබ් අඩවියෙනි/ ඡායාරූප – cricinfo වෙබ් අඩවියෙනි)

17 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *