බහාලුම් 2000 ක් තවමත් හිරවෙලා

ආනයනික බහලුම් නිෂ්කාශනය කිරීම තව දුරටත් ප්‍රමාදවීම හේතුවෙන් ඔරුගොඩවත්ත රේගු බහලුම් අංගනයේ සහ එම මාර්ගයේ බහලුම් රථ පෝලිම ඊයේ(29) පස්වරුවේ ද දැකගත හැකි විය.

එසේ දිගු පෝලිමක් තිබුණ ද දින දෙක තුන බහලුම් රථවලට රැදී සිටීමට සිදු නොවන බවත් මීට පෙර පැවතුණාට වඩා ඉක්මණින් බහලුම රැගෙන යෑමේ අවස්ථාව ලැබී ඇති බවත් ඇතැම් බහලුම් රථ රියදුරෝ පැවසූහ.

රේගු බහලුම් අංගනයට දිනපතා ලැබෙන බහලුම් ද සමඟ ඊයේ පස්වරුව වන විට නිෂ්කාශනය නොකළ බහලුම් 2,000 කට වැඩි සංඛ්‍යාවක් තිබූ බවත් රේගු නිලධාරීන් හැකි උපරිමයෙන් නිෂ්කාශන කටයුතු ක්‍රියාත්මක කරන බවත් රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

බහලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම බහලුම් ගැටලුවට සෘජුවම මැදිහත්ව සිටීම නිසා මේ වන විට තරමක් කාර්යක්‍ෂමව බහලුම් නිෂ්කාශනය ක්‍රියාත්මක වන බවත් ඒ හේතුවෙන් බහලුම් රථවලට දින ගණන් රැදී නොසිටින බවත්ය. වරාය අමාතවරයා සහ මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා දිනපතා බහලුම් නිෂ්කාශන ක්‍රියාවලිය අධීක්‍ෂණය කරන බව කී සනත් මංජුල මහතා ඉදිරි දින කීපයේදී තදබදය තව දුරටත් අඩුවනු ඇතැයි බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *