Gotabhaya

ගෝඨාභය දළඳා සමිඳුන් වඳී : මල්වතු – අස්ගිරි මහ නාහිමිවරුන්ගේත් ආශිර්වාදය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද(14) මහනුවර ශ්‍රී දළඳා මාලිගය වැඳ පුදාගැනීමට එක්විය.

දළඳා සමිඳුන් වැඳ පුදාගැනීමට එක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසට පසළොස්වක පොහොය හා අවසන් රන්දෝලී පෙරහර වෙනුවෙන් එහි එක් රැස්ව සිටි ජනතාවගෙන් උණුසුම් ප්‍රතිචාර හිමිවූ අතර ඉන් අනතුරුව මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැකීමටද ගෝඨාභය මහතා ඇතුළු පිරිස එක්වූහ.

ඊයේ(13) අනුරාධපුර සිද්ධාස්ථාන වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගැනීමෙන් පසු අද පෙරවරුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස මහනුවරට පැමිණි අතර එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීම වෙනුවෙන් විශේෂ උත්සවයක් සංවිධානය කර තිබිණි.

දළඳා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් පසු මල්වතු මහා විහාරයට පැමිණි එම පිරිස මල්වතු පාර්ශ්වයේ මහ නායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්හ.

එහිදී මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියෝද ගෝඨාභය රාජපක්ෂ මහතාට ආශිර්වාද කළහ. ඉන්පසු අස්ගිරි පාර්ශවයේ මහා නායක වරකාගොඩ ඥානරතන මහ නාහිමියන් බැහැ දුටු ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන් අනතුරුව මහනුවර පුල්ලෙයාර් කෝවිලට හා මීරා මක්කම් මුස්ලිම් දේවස්ථානයට ද ගොස් ආගමික නායකයින් හමුවිය.

අද පස්වරුවේ ගැටඹේ ශ්‍රී රාජෝපවනාරාම විහාරයට පැමිණි ගෝඨාභය මහතා විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබාගත්තේය.

මෙහිදී අදහස් දැක්වු ගැටඹේ රාජෝපවනාරාමාධිපති හිමියෝ පැවසූයේ ගෝඨාභය මහතා යමක් කිවහොත් ඒ දෙය හරියට කරන බව කවුරුත් දන්නා බවයි. එබැවින් විනාශ වීගෙන යන රට ගොඩනැගීම සඳහා ගෝඨාභය මහතාගේ උදව්ව කවුරුත් බලාපොරොත්තුවන බවත් එය ඉටුකරදෙන ලෙසත් උන්වහන්සේ ඉල්ලා සිටියහ.

“තමන්ගේ වටිනා ඡන්දය රට විනාශ කරන්න දෙන්න බැහැනෙ.ඒ නිසා ඡන්දය පාවිච්චි කරන්න කියලා සිංහල මිනිස්සුන්ට බොහොම ඕන කමින් ප්‍රකාශ කරනවා.මොකද මේ විනාශ වේගෙන යන රට ගොඩගන්න අපිට ශක්තිමත් පුද්ගලයෙක් ලැබිලා තියෙන නිසා.සරත් ෆොන්සේකා මහත්තයාට හොඳට තේරිලා තියෙනවා ඔබතුමාගේ අගේ“ යනුවෙන්ද උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

ගැටඹේ රාජෝපවනාරාමය වැඳ පුදා ගැනීමෙන් පසු මැණික්හින්න හූරීකඩුව ශ්‍රී විද්‍යාසාගර පිරිවෙන් විහාරස්ථානය වෙත පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා රාමඤ්ඤ මහා නිකායේ මහානායක නාපානේ පෙමසිරි නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබාගත්තේය.

මෙම අවස්ථාවන් සඳහා හිටපු ජනපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාද එක්වූ අතර ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා ප්‍රාදේශීය නායකයින් රැසක්ද ඊට එක්ව සිටියහ.

1 Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *