දකුණු දළදා නිදන් කළ ස්තූපය

Share this Article

ගෞතම බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ සම්බන්ධයෙන් සවිස්තරාත්මකව කරුණු සඳහන්ව ඇත්තේ ඓතිහාසික සිංහල ධාතුවංශය, පාළි ධාතුවංශය, හා ජිනකාලමාලි යන ග්‍රන්ථ තුළයි. කාවන්තිස්ස රජ සමය ලෙස සැලකෙන ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේදී සේරුවිල පිහිටි සෝම නුවර පාලනය කළ ගිරි අභය නොහොත් ගිරි අබා නම් රජෙකු විසින් සෝම නුවර සමීපයේ මහින්ද නම් තෙරුන් කෙනෙකු හැටක් පමණ වූ භික්ෂු පිරිසක් සමඟින් වාසය කළ ප්‍රදේශයේ දකුණු දළදා වහන්සේ නිදන් කරමින් සෝමවතී ස්තූපය ඉදිකළ බව ඉහත කී ග්‍රන්ථ වල පැහැදිලිව සඳහන් කර තිබේ.

එම ස්තූපය පිළිබඳව කරුණු විමසන පුරාවිද්‍යාඥයන් මෙන්ම ඉතිහාසඥයෝද වර්තමානයේ සෝමවතී මහා සෑය ලෙසින් හදුන්වන පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් චෛත්‍යය දකුණු දළදා නිදන් වූ සෝමවතී ස්තූපය නොවන බව පැහැදිලිවම ප්‍රකාශ කරයි.

01. පුරාවිද්‍යා විෂය සම්බන්ධව පුළුල් දැනුමක් ඇති පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ධුරය ද හෙබවූ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ 1954 වර්ෂය සඳහා වන පාලන වාර්තාවේ මෙසේ සටහන්ව තිබේ.

“තමන්කඩු දිසාවේ සෝමවතී චේතිය අසල පසින් යට වී පිහිටි තුන්වැනි සියවසට අයත් ලිපියක් සහිත ගල් පුවරුවක් සොයා ගන්නා ලද්දේ ය. මේ දාගැබෙහි දළදා නමක් තුන්වෙනි සියවසින් පෙර කාලයක දී නිදන් කරන ලද බැව් බොහෝ අය විශ්වාස කරති. එහෙත් ලේඛන විද්‍යාවෙන් ඒ විශ්වාසය තහවුරු කිරීමට කිසිදු සාක්ෂියක් නැත්තේය.ˮ (1954 වර්ෂය පිළිබඳ පුරාවිදු අධිකාරි තැන ගේ පාලන වාර්තාව VI කොටස – අගෝස්තු 1955 ආණ්ඩුවේ නියමයෙන් මුද්‍රණය කරන ලදි. A.S.C.A.R 1954)

02. එමෙන්ම පුරාවිද්‍යා චක්‍රවර්තී අති පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියෝ ද වර්තමානයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇති සෝමවතී විහාරය දකුණු දළදා නිදන් කළේ යැයි සැලකෙන ඓතිහාසික සෝමවතී විහාරය නොවන බව මෙසේ කරුණු ගෙනහැර දක්වයි.

“දැනට පොළොන්නරු දිසාවේ සුංගාවිලට සැතපුම් හයක් පමණ දුරින් මීන්විල විල්ලුවේ කෙළවරට වනසේ වනයේ පිහිටි ස්තූපයක් සහිත නටබුන් පුදබිමක් ද කාලයක සිට සෝමාවතිය ලෙස සලකා ඇති බව මුලින් සඳහන් කර ඇත. මෙහි ගරා වැටී තිබූ සෑය පසුගිය කාලයේ ප්‍රතිසංස්කරණය කරන ලදි. මෙහි ද විවිධ ආරාම ගොඩනැගිලි දක්නට ලැබේ. මේ ස්ථානයෙන් හා මීන්විල විල්ලුව මැද පිහිටි මිටි ගල් තලයෙන් ද (එරික් ස්වෝන්) ලැබුණු සෙල්ලිපි පහක් තිබේ. මේ ලිපිවල මහා චූලික මහා තිස්ස රජුගේ පරපුරේ සාමාජිකයන් ගැන සඳහන් කෙරෙයි. ඉන් එක් ලිපියක ස්ථානයේ නාමය “පජින නකල අරබˮ (ප්‍රාචීන නාගාරාමය) වශයෙන්ද තවත් ලිපියක “මණි අගිය රජමහ විහරˮ (මණිඅග්ගික රාජ මහා විහාරය) වශයෙන් ද සඳහන් වේ.

​මෙයින් පැරණිම ලිපිය ක්‍රි.ව. 9 – 21 අතර රජ කළ මහාදාඨික මහා නාග රජුගේ යුගයට අයත් ලිපියයි. ඒ ලිපිය අනුව මේ ආරාමය කරවා ඇත්තේ එතුමාගේ පුත්‍රයකු වූ එහෙත් වංශකතාවේ නොදැක්වෙන නකල නම් කුමාරයෙකු විසිනි. සෝමා දේවිය නමින් කර වූ සෝමවතී විහාරය මෙය නම් එය කරවා ශත වර්ෂ දෙකක් පමණ යාමට පෙර එය අමතක වීමට හෝ නම වෙනස් වීමට හෝ හේතුවක් තිබිය යුතුය. එබඳු හේතුවක් ද නොපෙනෙන බැවින් හා ගඟේ ද ගමන් මඟ වෙනස් වීම පිළිගතද නියම සෝමාවතිය මෙය නොවන බව පැහැදිලි වේ.ˮ (සැඟවුනු ඓතිහාසික පුදබිම් – 2014, පුරාවිද්‍යා චක්‍රවර්තී පුරාවිද්‍යා පර්යේෂණසූරී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි – පිටු අංක 34)

03. සී ඩබ් නිකලස් C.W. Nicholas සූරීන්ගේ “පුරාතන සහ මධ්‍යතන ලංකාවේ ඓතිහාසික ස්ථාන විස්තරයˮ ග්‍රන්ථයේ සඳහන් වන්නේ මෙසේයි.

“At the neighbouring Somavati Cetiya there is an inscription recording the foundation of the Vihara, which is named Pajini-Nakala-araba-vihara, by the prince Nakala, son of king Mahallaka Naga (136-143) : another, later inscription of the Kanittha Tissa at the site names the Cetiya, Mani- agaya-cetiya. The present name and so-called traditions about this site are therefore spurious.ˮ (Nicholas, C.W; J. R.A.S.(C. B.)NS. SPN. Vol. VI, p. VI. p. 42)
එම සටහනට අනුව C.W. Nicholas සූරීන් වර්තමානයේ දී මෙම ස්ථානයට “සෝමාවති” යන නම භාවිතා කිරීම වැරදි සහගත බව කෙළින්ම ප්‍රකාශ කර සිටියි.

04. මේ අතර සෙනරත් පරණවිතාන මහතාගේ ලංකා ශිලා ලේඛන සංග්‍රහයේ, II වෙළුමේ, II කොටසේ මේ අකාරයෙන් සටහන් වේ.

“The inscription found on the pavement of the Somavati, when it refers to the foundation of a Vihara, must mean establishment of which that stupa is the centre. When it is admitted that the religous establishment at the place was founded by the son of a king who ascended the throune in 9 A.C., the bliefs held by many Buddhists of ceylon that this Dagaba was built in the second century B.C. by a contemporary of Kakavanna Tissa, have to be regarded, as C.W. Nicholas has done, as having no historical basis. apart from the efidence furnished by this inscription against the credibility of this belief, the account in the Dhatuwamsą, on which the belief is based, is concerned with a Stupa in Rahana and the Stupa now called Somavati is not in Rohana, but in the Rajarattha.ˮ (Inscriptions of Ceylon, Vol. II, Part II, By S.Paranavitana, Editor: Malini Dias, 2001, Published by C2 the Archaological Survey Department, Sri Lanka. p. 39)
​එම කරුණු සැලකිල්ලට ගත් කළ කිස්තු පූර්ව දෙවන සියවසයේ දකුණු දළදා නිදන්කොට කාවන්තිස්ස රජ සමයේ තැනූ සෝමවතී ස්තූපය මෙය නොවන බව C.W. Nicholas මහතාගේ සටහන නිවැරදි බව පෙන්වාදෙන මහාචාර්ය සෙනරත් පරණවිතානයන්, සෝමවතිය යනු ධාතුවංශයට අනුව රුහුණු රටේ පිහිටි ස්තූපයක් බවත්, නමුත් දැන් එනමින් හඳුන්වන ස්තූපය රජරට පිහිටා ඇති බවද කරුණු සමග පෙන්වා දෙමින් එකී චෛත්‍ය ධාතුවංශයේ දැක්වෙන දකුණු දළදා නිදන් කළ සෝමවතී චෛත්‍යය නොවන බවටත් පෙන්වා දේ.

මේ කරුණු හැරුණුකොට පහත දැක්වෙන කරුණු නිසාද සෝමවතිය ලෙසින් වර්තමානයේ හැඳින්වෙන චෛත්‍ය දකුණු දළදා නිදන් වූ සෝමවතිය නොවන බවට පැහැදිලි වේ.

01. වත්මන් සෝමවතී චෛත්‍ය ලෙසින් සැලකෙන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි විහාරය ආශ්‍රිතව හමු වූ සෙල් ලිපියෙන් එම විහාරය නකල කුමරු විසින් සැදූ ප්‍රාචීන නාගාරාම විහාරය මිස සෝමවතී විහාරය නොවන බව පැහැදිලිව ම පුරාවිද්‍යාත්මකව තහවුරු වේ.

එහි සටහන්ව ඇත්තේ මේ ආකාරයටයි.
“සිධ නක මහ රජ රජ අඩි පිටිය තුමහ පුත අය නකලයහ කරිත පජි[න] නකෙල අරබ විහරට දිනෙ.ˮ

සිංහල අර්ථය –
“යහපතක් වේවා මහා නාග රජ තෙමේ (මහාදාඨික මහානාග ක්‍රි.ව. 07-19) සිය පුත් වූ නකල කුමරු විසින් සෑදූ පාචීන නාගාරාම විහාරයට රජ අළි පිටිය ගම පිරිනැමීය.ˮ

02. එමෙන්ම වර්තමාන සෝමවතී විහාරයේ මළුවෙන් සොයා ගත් සෙල්ලිපියෙන් ද (ක්‍රිස්තු වර්ෂ 1 වැනි සියවස) මෙය ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ දී දකුණු දළදා පිහිට වු සෝමවතී විහාරය නොවන බවත්, නකල කුමරු තැන වූ ප්‍රාචීන නාගාරාම විහාරය බවටත් යළිත් වරක් පුරාවිද්‍යාත්මකව තහවුරු වේ.

1. “සිද්ධම් මහ නක රජහ පුත අය නකෙල න-
2. මෙ පජිනි නක අරබ විහර කරිතෙ මහ නක රජ
3. තුමහ පුතහ විහරහි උපධරිණි විහරහ
4. කෙතනහි රජළි කෙතහි කරිහි සතක සග බකි දිනි.ˮ

සිංහල අනුවාදය –
“යහපතක් වේවා, මහානාග රජු ගේ පුත් වූ නකෙල කුමරු විසින් පාචීන නාගාරාම විහාරය සාදන ලදි. මහානාග රජ තෙමේ තම පුතණුවන් සෑදූ විහාරයෙහි භික්ෂූන්ගේ නඩත්තුව පිණිස විහාරය පේනතෙක් මානයේ වූ රජළි කෙතෙහි කිරිය සියයක කුඹුරු පරිත්‍යාග කළේ ය.ˮ

03. සිංහල ධාතුවංශය, පාළි ධාතුවංශය, සහ ජිනකාලමාලි වැනි ඓතිහාසික අභිලේඛනයන්හි දකුණු දළදා නිදන් වූ සෝමවතී චෛත්‍යය පිළිබඳ සටහන් වන්නේ මේ ආකාරයටයි.

​ගැමුණු කුමරු හා ජාතිය පිළිබඳ ඇති වූ විවාදයෙන් පසු ගිරි අභය රජු (ක්‍රිස්තු පූර්ව දෙවෙනි සියවසේ වාසය කළ ප්‍රාදේශීය රජෙකි.) ගිරි නුවරින් නික්ම සිය පතිනිය වූ සෝමදේවිය සමඟින් සිය මිතුරු සේරු නුවර සිව රජු වෙත සේනා සහිතව පැමිණියේ ය. එහිදී සේරු නුවර සිව රජු විසින් සේරුවිල් කෙළවර සමීපයෙහි වූ බිමක සිය මිතුරු වූ ගිරි අබා රජුට සහ සෝමදේවියට නුවරක් තනා දුන් අතර එය සෝම නුවර ලෙස නම් විය.

​එකී සෝම නුවරට නුදුරු නොළං තැනක භික්ෂූන් සැට නමක් සමඟ වැඩසිටි මහින්ද නම් තෙර කෙනෙකු විසූ ස්ථානයක දකුණු දළදා වහන්සේ නිදන් කොට මහා සෑයක් බැඳ සංඝාරාමයක් ද ඉදිකරවන ලදි. බුදුරජුන් පිරිනිවි කල්හි ධාතු බෙදූ ද්‍රෝණ නම් බමුණා බුදුන්ගේ දකුණු දළදාව තමන්ට වන්දනා කරණු පිණිස සඟවාගත් කල්හි එය දුටු ජයසේන නම් නාරජු එකී දකුණු දළදා වහන්සේ නා ලොවට රැගෙන ගිය අතර කාවන්තිස්ස රජ දවස මහින්ද නම් තෙරුන් නා ලොවින් දකුණු දළදා වඩමවා ගිරි අබය රජුගේ ඇරයුමෙන් සෝම නුවර සමීපයේ කර වූ පෙර කී දාගැබේ තැන්පත් කරනා ලදි. එකී දකුණු දළදා නිදන් කල දාගැබ සහිත විහාරය සෝමා දේවියගේ නාමයෙන් සෝමවතී විහාරය ලෙස නම් විය.

​ඒ අනුව සෝමවතී විහාරය පිහිටා ඇත්තේ සෝම නුවර සමීපයේ ය. සෝම නුවර පිහිටා ඇත්තේ සේරු නම් විලේ කෙළවරක ය. එනමුදු වර්තමානයේ සෝමාවතිය යැයි සැලකෙන විහාරය සේරු නම් විලේ සිට සෘජු දුරද කි.මී. 35කට අධික දුරකින් පිහිටා තිබේ. සේරුවිල සිට එකී සෝමවතී විහාරයට ඉදි කළ නව මාවතේ දුර කි.මී. 52කි. ඒ අනුව සේරුවිල් කෙළවර පිහිටි සෝම නුවර සමීපයෙහි ඉදි වූ සෝමවතී විහාරය වර්තමානයේ සෝමාවතිය ලෙස සැලකෙන විහාරය නොවන බව එකී දුර ප්‍රමාණ සැලකීමෙන් ම තහවුරු වේ.

04. එසේ ම සිංහල ධාතුවංශයේ, පාළි ධාතුවංශයේ, සහ ජිනකාලමාලියේ මේ ආකාරයෙන් දැක්වේ.

​එනම්, කාවන්තිස්ස මහ රජු සේරුවිල් තෙර සමීපයෙහි වරහ සොණ්ඩ ගල්කෙම අසල බුදුන්ගේ ලළාට ධාතුන් වහන්සේ නිදන්කොට සේරුවිල ලළාට ධාතු ස්තූපය තනවන ලදි. එම විහාරයේ කටයුතු නිමවා පූජා කරනා පින්කමට කාවන්තිස්ස රජු ගමන් කළේ සිය නැගෙනිය වූ සෝමා දේවිය වාසය කළ සෝම නුවර සිට ය. සන්ධ්‍යාවෙහි සෝම නුවරින් පිටත් වූ හස්තීන් සහ සිව්රඟ සේනා සහිත එම පෙරහැර අඳුර පැතිරීමට පෙර සේරුවිල චෛත්‍ය පිහිටි භූමියට ලඟා වූ බව ඉහත දැක් වූ ඓතිහාසික ග්‍රන්ථයන්හි සඳහන් වේ. ඒ අනුව ඇතෙකු පිට නැගී මහ පෙරහරින් සේරුවිල ලළාට ධාතු ස්තූපය වෙත සෝම නුවර සිට පැය කිහිපයක් ඇතුළත ගමන් කල හැකි විය යුතුය. ඒ අනුව සේරුවිල ලළාට ධාතු ස්තූපය සෝම නුවර සිට කි.මී. 4ක්, 5ක් හෝ ඊටත් අඩු දුරකින් පිහිටා තිබිය යුතුය. එකී සෝම නුවර සමීපයේ දකුණු දළදා නිදන් වූ සෝමවතී චෛත්‍ය පිහිටියේ ය. වත්මන් සෝමාවතිය යැයි හඳුන්වන විහාරයට සේරුවිල ලළාට ධාතු ස්තූපයේ සිට පවතින මාවතේ දුර කි.මී. 52ක් වේ.

05. දකුණු දළදා වහන්සේ නිදන් කරමින් සෝමවතී ස්තූපය ඉදි වූයේ ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසේ බව ඒ පිළිබඳ සදහන් වන සියලු ඓතිහාසික වංශ කථාවන්ගෙන් තහවුරු වුවත්, වර්තමානයේ සෝමාවතිය ලෙස හඳුන්වන විහාරය ක්‍රිස්තු වර්ෂ පළමු සියවසේ නකල නම් කුමරෙකු විසින් කර වූ විහාරයක් බව එකී හමුවූ සෑ මළුවෙන්ම හමු වු සෙල් ලිපියක සහ ඒ ආශ්‍රිතව හමු වූ වෙනත් සෙල්ලිපි වලින් ද පුරාවිද්‍යාත්මකව තහවුරු වී ඇති නිසා එය කිසිදු අයුරකින් දකුණු දළදා නිදන් කළ පෞරාණික සෝමවතී චෛත්‍ය විය නොහැකිය.

එමෙන්ම ඉහත වංශකතා සාධක හා භූගෝලීය දුර ප්‍රමාණ සැලකීමේදී එම විහාරය කිසි විටෙකත් දකුණු දළදා නිදන් කළ සෝමවතී විහාරය විය නොහැකිය. මෙම කරුණ තහවුරු කිරීමට තවත් බොහෝ සාධක ඉහත සඳහන් කළ ඓතිහාසික ග්‍රන්ථයන්හි සඳහන් නමුත් වර්තමානයේ සෝමාවතිය ලෙස හැඳින්වෙන ස්තූපයේ එය තැනූ නකල කුමරු විසින් සර්වඥ ධාතූන් වහන්සේලා හෝ අරහන්ත ධාතූන් වහන්සේලා තැන්පත් කරන්නට ඇත. එම ස්තූපය ධාතුන් වහන්සේලා වැඩවසන ස්තූපයක් වන අතර ඉහත කරුණු දැක්වීමෙන් පෙන්වා දෙන ලද්දේ එය දකුණු දළදා නිදන් වුණ ස්තූපය නොවන බවටයි.

මෙම කරුණු වලට අනුව දකුණු දළදා වහන්සේ නිදන් වූ දාගැබ සහිත සැබෑ සෝමවතී විහාරය පිහිටා තිබෙන්නේ කොතැනකද?

දකුණු දළදා ස්තූපය පිළිබඳ සියලු සාධක සලකා බැලීමේදී එය පිහිටා තිබිය යුත්තේ සේරුවිල ලළාට ධාතු ස්තූපයේ සිට කි. මී. 05ක පමණ වන ප්‍රදේශයක් ඇතුළත සේරු නම් විලේ වෙනත් කෙළවරකට වන්නටය. ඒ අනුව එකී වංශකතා හා භූ විද්‍යාත්මක සාධක සියල්ල සපුරමින් නටඹුන් වී ගිය එක් විශාල ස්තූපයක් පිහිටා තිබේ. මේ ස්තූපය හැර එම භූමි ප්‍රදේශය තුළ වෙනත් පෞරාණික විශාල ස්තූපයක් පිහිටා නැත. එම විශාල ස්තූපය වන්නේ සේරුවිල ලළාට ධාතු ස්තූපයේ සිට කි.මී. 04ක පමණ දුරකින් සේරු නම් විලේහිම උතුරු කෙළවරට වන්නට, තෝප්පූර් නම් මුස්ලිම් ගම්මානයට මායිම් වූ විල්ගම්වෙහෙර නමින් හැඳින්වෙන නටඹුන් වී ගොස් තිබූ පෞරාණික ස්තූපයයි. එම විල්ගම්වෙහෙර, ඓතිහාසික සෝමවතී චෛත්‍ය ලෙස මේ වන විට හඳුනාගෙන තිබේ.

  • එමෙන්ම සිංහල ධාතුවංශයේ, පාළි ධාතුවංශයේ හා ජිනකාලමාලි ග්‍රන්ථයන්හි දකුණු දළදා නිදන් කළ සෝමවතී ස්තූපයට අදාළ වංශකතා ගත කරුණු සියල්ල හා භූගෝලීය සාධක සියල්ලමද මෙම ස්තූපය හා සැසඳි යයි.
  • දකුණු දළදා චෛත්‍යය ඉදි වූයේ කාවන්තිස්ස රජ සමය ලෙස සැලකෙන ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේදීයි. විල්ගම්වෙහෙර චෛත්‍යය සම්බන්ධව සිදුකළ පුරාවිද්‍යා කැණීම් වලදී ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසට අයත් වන පූර්ව බ්‍රාහ්මීය අක්ෂර සහිත ගඩොල් මුල් සෑ ගැබෙන් හමු වී ඇති අතර එම යුගයට අයත් චෛත්‍යයන්හි පවතින ශෛලමය ඡත්‍රය සහ යූප ස්තම්භය ද සොයා ගෙන තිබේ. එම යුගයට අයත් ලක්ෂණ දරනා සිරිපතුල් ගල් සහ ශෛලමය පද්මයන්ද සෑ මළුවේ තිබී සොයා ගන්නා ලදී. මෙම චෛත්‍යය යුග කීපයක දී ප්‍රතිසංස්කරණය කරන ලද විශාල සෑයක් වන අතර එහි මුල් ඉදිකිරීම ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ බවටත් තහවුරු වී තිබේ.
  • විල්ගම්වෙහෙර පිහිටා ඇත්තේ තෝප්පූර් නම් මුස්ලිම් නගරයට ආසන්නයේ ය. එම ප්‍රදේශයේ ක්‍රිස්තු වර්ෂ 16, 17 ශතක වල සිට වෙසෙනා මුස්ලිම් ජනයාගේ වහර අනුව සෝමපුර > සෝම්පුර් > තෝම්පූර් > තෝප්පූර් ලෙස පරිණාමය වී ඇති බවටත් වාග් විද්‍යාඥයන්ගේ මතයයි.

මෙම පෞරාණික ස්තූපය මේ වන විට ප්‍රතිසංස්කරණය කොට කොත් පළඳවා යළි පූජාවන්ට විවර කර ඇත.

​මෙම විල්ගම්වෙහෙර චෛත්‍යය දකුණු දළදා නිදන් කළ සෝමවතී විහාරය ලෙසින් හඳුනා ගනිමින් ජේෂ්ඨ මහාචාර්ය එම්. ඩබ්ලිව්. විමල් විජේරත්න මහතා රචනා කළ “සේරුවාවිල තිස්ස මහා විහාරවංශයˮ නම් වූ ශාස්ත්‍රීය පර්යේෂණ (Ph.D.) කෘතිය 2012 වර්ෂයේ දී හොඳම සිංහල ස්වතන්ත්‍ර විවිධ විෂය ශාස්ත්‍රීය පර්යේෂණ ග්‍රන්ථයට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය. මේ පිළිබඳව වැඩිදුර කරුණු මහාචාර්ය වරයා විසින් රචිත “ශ්‍රී දකුණු දළදා නිදන් කළ ඓතිහාසික සෝමනුවර සහ සෝමවතී විහාරය හඳුනාගැනීමˮ නම් වූ ග්‍රන්ථය පරිශීලනයෙන් තහවුරු කරගත හැකිවේ.


Share this Article

Leave a Reply

Your email address will not be published.